" අම්මාගෙ ඉල ඇට 17 ක් කැඩිලා..තුවාල කැලැල් 52ක්.." කුරිරු ලෙස මව ඝාතනය කළ ව්‍යාපාරික පුත්‍රයා අත්අඩංගුවට..!(VIDEO)

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Nov 14, 2022 01:05 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

කාන්තාවක් ඝාතනය කිරීමේ චෝදනාවකට අදාළව සැකපිට ඇයගේ පුත්‍රයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 39 හැවිරිදි වියේ පසුවන කොහුවල වුඩ්ලන්ඩ් මාවතේ පදිංචි පුද්ගලයෙකි.

ඝාතනයට ලක්ව ඇති කාන්තාව සහ අයගේ එකම පුතුවන මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු කොහුවල වුඩ්ලන්ඩ් මාවත ප්‍රදේශයේ දෙමහල් නිවසක ඉහළ මාලයේ පදිංචිව සිට ඇත. පහළ මාලය කුලියට ලබාදීම සඳහා සැලසුම් කර තිබූ බවද මේ වනවිට අනාවරණය වී තිබේ.

සැකකාර පුත්‍රයාගේ අමානුෂික ප්‍රහාරයෙන් මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 78හැවිරිදි වියේ පසුවූ කාන්තාවකි. අදාළ සැකකාර පුත්‍රයා සහ ඝාතනයට ලක්ව ඇති කාන්තාව අතර නිරන්තරයෙන් විවිධ ගැටුම් ඇතිවන බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පසුගිය 4 වනදා සැකකාර පුත්‍රයා සහ ඇයගේ බිරිඳ විසින් මියගොස් ඇති කාන්තාව කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත්තේ ඇය පඩිපෙලකින් ඇදවැටුණු බව පවසමිනි. පොලිස් විමර්ශනවලදී සැකකරු පවසා ඇත්තේ තමන් නිවසින් පිටතට ගොස් පැමිණි අවස්ථාවේ සිය බිරිඳ විසින් මව පියගැටපෙළෙන් ඇදවැටුණු බව දැනුම්දුන් බවය.

කෙසේ වෙතත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී මියගොස් ඇති කාන්තාවගේ ගෙළ ප්‍රදේශයේ ඇඟිලි සළකුණු තිබීම හේතුවෙන් මෙම මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වන ලෙසට හදිසි මරණ පරීක්ෂකවරයා පොලිසියට නියෝග කර තිබිණි.

ඒ අනුව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් දහනායක මහතාගේ නියෝග මත කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ජනිත දයානන්ද මහතා විසින් සිදුකළ වෛද්‍ය පරීක්ෂණයේදී මෙම කාන්තාවගේ මරණය ඝාතනයක් බවට අනාවරණය වී ඇත.

එහිදී මියගිය කාන්තාවගේ පපුවේ ඉල ඇට 17 ක් කැඩීයාමක් හා ගෙළ සිරකර හුස්ම හිර කිරීමේදී ගෙල කැඩී ඇති බවට අනාවරණය වී තිබේ. මීට අමතරව ශරීරය පුරා සුවවූ තුවාළ කැළැල් 52 ක් ඇති බවට වැඩිදුරටත් වෛද්‍ය වාර්තාවෙන් අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

ඒ අනුව සිදුකරනු ලැබූ මූලික විමර්ශනවලදී සැකකාර පුතු විසින් එම කාන්තාව ඝාතනය කර ඇති බවට අනාවරණය වී ඇති බව පොලීසිය පවසා සිටී. වැඩිදුර විමර්ශනවලදී සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම් හමුවේ "උඹ 39 න් මැරෙන එකා" යනුවෙන් තම මව නිරතුරුවම තමන්ට පැවසූ බව ඔහු ප්‍රකාශ කර තිබේ.

සැකකාර ව්‍යාපාරික පුත්‍රයා නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර කොහුවල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

(වීඩියෝ අයිතිය - ada derana)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now