හේතුවක් නැතිවම අදත් අවලංගු වුණු කැලණිවැලි දුම්රිය
කැලණිවැලි දුම්රිය මාර්ගයේ පස්වරු 4.00ට කොළඹ කොටුවෙන් අවිස්සාවේල්ල බලා ධාවනය වන අර්ධ සීඝ්‍රගාමී දුම්රිය අද (06) දිනයේද අවලංගු කර ඇති බව වාර්තා වේ.
මෙම දුම්රිය ඊයේ (05) දිනයේද මෙන්ම පසුගිය සතියේ දින දෙකකදීද හේතුවක් ප්‍රකාශ නොකර අවලංගු කර තිබූ අතර, එම තත්ත්වය හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ දෛනිකව ගමන් කරන මගීන් දැඩි අපහසුතාවට පත්ව සිටිති.
පස්වරු 4.00 දුම්රිය ධාවනය නොවීම හේතුවෙන්, ඊළඟට කොළඹ කොටුවෙන් පිටත්වන්නේ පස්වරු 4.25ට අවිස්සාවේල්ල බලා ධාවනය වන දුම්රියයි. එම දුම්රිය කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලදීම මගීන්ගෙන් පිරී යන බැවින්, බේස්ලයින් සහ නාරාහේන්පිට ඇතුළු අතරමැදි දුම්රිය ස්ථානවල සිටින මගීන්ට ඊළඟ දුම්රිය තෙක් රැඳී සිටීමට සිදුව ඇති බව වාර්තා වේ.
අඛණ්ඩව දුම්රිය අවලංගු කිරීම හේතුවෙන් මගී ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටින අතර, මෙම ගැටලුව සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් ලබාදෙන ලෙස දුම්රිය බලධාරීන්ගෙන් ඉල්ලීම්ද එල්ල වී තිබේ.