ලැජ්ජා නැතුව තව කෙහෙලිය වැලිකඩ සිට පොලිස්පතිට සහ CIDයට නඩු දායි. - මිලියන 100 යකුත් ඉල්ලයි. - (VIDEO)
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධියට සම්බන්ධ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 06 දෙනා යළිත් වරක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, අනුව ඊයේ දිනයේදී කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයා බන්ධනාගාර නිලධාරීන් විසින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු 14 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කරනු ලැබුවා.
ඔහු අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් වෛද්‍ය නිර්දේශ මත පසුගිය නඩු වාරයේදී අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.
කෙසේ වෙතත් නඩුව කැඳවූ අවස්ථාවේදී හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නේ සිය සේවාදායකයාගේ පාදයේ ආබාධයක් පවතින බැවින් ඔහුට අසුන් ගැනීමට අවශ්‍ය බවයි.
ඊට අධිකරණය අවසර ලබා දුන් අතර පසුගිය නඩු විභාගයට පෙනී නොසිටීම සම්බන්ධයෙන් ඒ පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාවද ඊයේ දිනයේ අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
නඩු විභාගය කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ නඩුවට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු වන වෛද්‍ය සමන් රත්නායක නැමැත්තා අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් පරීක්ෂණවලට සහය දීම මග හරිමින් සිටන බවයි.
ඔහුට පෙරේදා (28) සහ ඊයේ(29) යන දෙදින තුළම තම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණත් තමන් සිටින ස්ථානය පිළිබඳ විවිධ අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් සිටින බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
එහිදී මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නේ ඔහුට එරෙහිව අපරාධ නඩු විධි විධාන සංග්‍රහය යටතේ කටයුතු කරන ලෙසයි.
එමෙන්ම ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධියට අදාළව තවත් එක් සැකකරුවෙකු විදෙස් ගතව සිටින බැවින් ඔහුව සම්බන්ධ කර ගැනීම සඳහා අවස්ථා ගණනාවකදී උත්සහ කළත් ඔහු ද පරීක්ෂණ මග හැර සිටින බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. එබැවින් ඔහුට එරෙහිව රතු නිවේදනයක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා.
මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා.
ඔහු සිය නීතිඥවරුන් මාර්ගයෙන් ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කර ඇති අතර ඔවුන්ගෙන් රුපියල් මිලියන 100ක වන්දි මුදලක් අයකර දෙන ලෙස එමඟින් ඉල්ලා ඇත.