වනාන්තරයේ රජුට අවසන් ගෞරවය - මහින්ද රාජපක්ෂගේ හද සසල කළ සටහන

Mahinda Rajapaksa Sri Lanka Latest Headlines Sinhala news Kawanthissa
By R.rishma Oct 17, 2026 05:54 AM GMT
Report

අතිමහත් ජනප්‍රියත්වයට පත්ව සිටි ‘කාවන්තිස්ස’ හස්තිරාජයාගේ වියෝව වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සංවේදී සටහනක් තබමින් අවසන් ගෞරවය පුද කර තිබේ.

“ද්විරද ගජ කාවන්තිස්ස, මහා වනාන්තරයේ රජුව අවසන් වරට වනාන්තරය විසින්ම තම හදවතට තුරුළු කර ගත්තා යැයි සිතමි” යනුවෙන් සිය සටහන ආරම්භ කර ඇති හිටපු ජනාධිපතිවරයා, මෙරට ඉතිහාසය, සංස්කෘතිය සහ බුදු දහම තුළ ඇතුන්ට හිමි සුවිශේෂී ස්ථානය පිළිබඳව ද සිහිපත් කර ඇත.

ශ්‍රී ලංකාවේ ඉතිහාසය පුරා ඇතුන්ගේ සුවිශේෂී දායකත්වය පැහැදිලි කරමින් ඒ මහතා සඳහන් කර ඇත්තේ, මහාවංශයේ සිට සිරි දළදා මහා පෙරහැර, රාජාභිෂේක සහ රණබිම් දක්වා ඇතාගේ භූමිකාව සුවිශේෂී වූ බවයි.

එමෙන්ම, මෙරට රාජ්‍යත්වයේ අභිමානය නියෝජනය කළ ‘කඩොල්’ ඇතා ඉතිහාසය තුළ රජෙකුට සමාන ස්ථානයක් හිමි කරගත් බව ද මහින්ද රාජපක්ෂ මහතා සිය සටහනෙන් පෙන්වා දී තිබේ.

බුදු දහම තුළ ඇතා බෝධිසත්ව සංකල්පය සමඟ සම්බන්ධ වන ආකාරයත්, ඇත් පිය සටහන ගජගා වන්නම බවට පත්ව ඇති ආකාරයත් සිහිපත් කර ඇති ඒ මහතා, ශ්‍රී ලාංකේය සංස්කෘතිය තුළ ඇතා යනු හුදෙක් සත්වයෙකු පමණක් නොව ඉතිහාසය, ආගම, කලාව සහ ජනජීවිතය සමඟ බද්ධ වූ ජීවමාන සංකේතයක් බව අවධාරණය කර ඇත.

ඇතා පිදුම් ලබන සත්වයෙකු මෙන්ම මඟුල් ලකුණක් සහ රැකගත යුතු ජාතික සම්පතක් ලෙස ද මෙරට ජනතාවගේ හදවත් තුළ විශේෂ ස්ථානයක් හිමි කරගෙන සිටින බව ද ඔහුගේ සටහනෙන් අවධාරණය කෙරේ.

“අභිමානය, ශක්තිය, ඉවසීම සහ කරුණාව දරාගත් මිනිස් හදවතක් සහිත, මව්බිම හැඩ කළ අප ඇත් පරපුරෙහි මහ ඇතුට සුබ ගමන්...” යන සංවේදී වදන් පෙළින් සිය සටහන අවසන් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කාවන්තිස්ස හස්තිරාජයාට සිය අවසන් ගෞරවය පුද කර තිබේ.