දෙවිනුවර පෙරහරේ කාවඩි නර්තන ශිල්පීන් කිහිපදෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහරට සහභාගි වූ කාවඩි නර්තන කණ්ඩායම් කිහිපයක සාමාජිකයන් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අද (28) පෙරවරුවේ ක්‍රියාත්මක කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, පෙරහරේ ආරක්ෂාව සඳහා ආරක්ෂක අංශ සාමාජිකයන් 1,500ක පමණ පිරිසක් යොදවා තිබේ. එමෙන්ම පෙරහරට සහභාගි වන සියලු කාවඩි නර්තන කණ්ඩායම් ක්ෂණික පරීක්ෂාවට ලක් කිරීමටද පියවර ගෙන ඇත.
කාවඩි කණ්ඩායම් පෙරහරට සහභාගි කරවීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් දේවාලය ආසන්නයේ නිවසකට වෙඩි තැබීමක් ද සිදුව තිබුණි.
එම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, වාර්ෂික පෙරහරේ කාවඩි නර්තන කණ්ඩායම් ගමන් කිරීම තාවකාලිකව නතර කරන ලෙස පොලිස්පතිවරයා පසුගිය ඉරිදා මාතර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත නිර්දේශයක්ද ඉදිරිපත් කර තිබුණි.
කෙසේවෙතත්, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ඊයේ (27) පස්වරුවේ මාතර දිසාපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට මහජන ආරක්ෂක අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා, පොලිස්පතිවරයා සහ අදාළ නිලධාරීන් එක්ව සිටියහ.
එහිදී පසුගිය වසරවල පෙරහරට සහභාගි වූ සියලු කාවඩි නර්තන කණ්ඩායම්වලට මෙවරද අවසර ලබාදීමට තීරණය කර ඇති අතර, වාර්ෂික පෙරහර අද (28) පස්වරු 2.00ට ආරම්භ වීමට නියමිතය.