කතරගම පොලිසිය වැටලූ ජන ගඟ - පාසල් 5ක ගුරුවරුන් සේවයෙනුත් ඉවත් වෙයි..(VIDEO)

Sri Lanka Police Sri Lanka SL Protest
By Sithumi Nov 22, 2022 11:02 AM GMT
Report

කතරගම ප්‍රදේශයේ පාසල් 05ක ගුරුවරු සිය ඉගැන්වීම් කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබේ. සෙල්ලකතරගම මහා විද්‍යාලයේ විනය භාර ආචාර්යවරයා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට පවසමින් එයට විරෝධය පළකිරීම සඳහා මෙලෙස පාසල් 05ක ගුරුවරු අධ්‍යාපන කටයුතුවලින් ඉවත්ව ඇත.

ගුරුවරුන් චෝදනා කරන්නේ තම දරුවාට පහරදුන් බවට මවක් විසින් කළ අසත්‍ය චෝදනාවක් පදනම් කරගනිමින් මෙලෙස අදාළ ගුරුවරයා අත්අඩංගුවට ගැනීමට සැරසෙන බවටය. එසේම අදාළ චෝදනාවට අදාළ පාසල් සිසුවා මීට පෙර අවස්ථා කිහිපයකදී විනය විරෝධී කටයුතු සම්බන්ධයෙන් පාසලේ විනය කමිටුව හමුවේ පරීක්ෂණ සිදුකර ඇති බවද ගුරුවරු පවසයි.

ගුරුවරුන් වැඩිදුරටත් පවසන්නේ අදාළ දරුවා දුම්වැටියක් පානය කිරීම මුල්කරගනිමින් ඇතිවූ සිදුවීමක් හේතුවෙන් විනය භාර ආචාර්යවරයා විසින් දරුවාට අවවාද කළ බවය. මේ අතර ලංකා ගුරු සංගමයේ තණමල්විල කලාපයේ ලේකම්වරයා පැවසුවේ මෙම සිදුවීම මුල්කරගෙන අදාළ ගුරුවරයා අත්අඩංගුවට ගැනීමක් සිදුකළහොත් සියලු පාසල් ගුරුවරුන් අධ්‍යයන කටයුතුවලින් ඉවත්වීමට පියවර ගන්නා බවය.

කෙසේ වෙතත් අදාළ පහරකෑමට ලක්වූ බවට පැවසෙන එම පාසලේ 7 වසරේ ඉගෙනුම ලබන සිසුවා ප්‍රතිකාර සඳහා බොරැල්ල රිජවේ ආර්යා ළමා රෝහළට ඇතුළත් කර ඇත. එසේම අදාළ ගුරුවරයාට සහාය පළකරමින් එම පාසලේ ඉගෙනුම ලබන සෙසු සියලුම දරුවන්ගේ මව්පියන් විශාල පිරිසක් පා ගමනින් කතරගම පොලිස් ස්ථානය වෙත ගොස් තිබේ.

එහිදී පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් ගුරුවරයා අත්අඩංගුවට ගැනීමක් සිදුකර නොමැති බවත් විමර්ශන ක්‍රියාත්මක කර ඇති බවත්ය. ඒ අනුව විරෝධතාකරුවන් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇත.

(වීඩියෝ - අද දෙරණ)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now