කපිල චන්ද්‍රසේනගේ මරණය - රස පරීක්ෂක වාර්තාව ඉදිරිපත් කරන්නැයි අධිකරණයෙන් සිහිකැඳවීමක්

Death Latest Headlines Sinhala news Puwath.lk Kapila Chandrasena
By R.rishma Jul 08, 2026 08:54 AM GMT
Report

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනවලදී සොයාගත් නාඳුනන ඖෂධ වර්ග පිළිබඳ රජයේ රස පරීක්ෂක වාර්තාව කඩිනමින් ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (08) රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත සිහිකැඳවීමක් නිකුත් කළේය.

මෙම සිද්ධිය කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, මරණකරු මියගිය ස්ථානයේ තිබී සොයාගත් නාඳුනන ඖෂධ කිහිපයක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති නමුත්, ඊට අදාළ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.

මීට අමතරව, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ද මෙතෙක් ලැබී නොමැති බව පොලීසිය අධිකරණයට දැනුම් දුන් අතර, එය ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙතද සිහිකැඳවීමේ ලිපියක් නිකුත් කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා නඩුව ජූලි 22 දින යළි කැඳවීමට ද අධිකරණය නියෝග කළේය.