පුද්ගලයෙකු පැහැර ගත් දරුවා දෙමාපියන්ට භාර දෙයි

Sri Lanka Police Kandy Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Aug 05, 2022 02:46 PM GMT
Report

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර නැරඹීමට පැමිණ සිටියදී පුද්ගලයකු විසින් පැහැරගත් 09 හැවිරිදි පිරිමි දරුවා අද දෙමාපියන් වෙත බාරදෙනු ලැබුවා. අදාළ දරුවා පැහැරගත් පුද්ගලයා දුම්රියක ගමන් කරමින් සිටියදී මහරගම පොලිසිය මගින් ඊයේ අත්අඩංගුවට ගත්තා.

 කොළඹ කොටුවේ සිට අවිස්සාවේල්ල බලා ඊයේ රාත්‍රී 8ට පිටත් වූ දුම්රියට සැකකාර පුද්ගලයා පැමිණ සිටියේ අවුරුදු 9 ක පමණ පිරිමි දරුවෙකු සමගින්. එම දරුවා දිගින් දිගටම අදාළ පුද්ගලයා සමග රැදී සිටීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අදාළ දුම්රියේ සිටි දුම්රිය මගීන් සැකකාර පුද්ගලයාගෙන් ඒ පිළිබඳ ප්‍රශ්න කළා.

එහිදී ඔහු ප්‍රකාශ කර තිබුණේ දරුවාගේ මව මෙම දරුවා තමන්ට භාර දුන් අතර ඔහු නැවත මවට භාරදීම සඳහා දුම්රියෙන් රැගෙන යන බවයි. කෙසේ වෙතත්, ප්‍රශ්න කිරීම් හමුවේ නුගේගොඩ දුම්රිය ස්ථානයේ දුම්රිය නතර කළ අවස්ථාවේදී මෙම සැකකරු දරුවා දමා පලායාමටයි කටයුතු කළේ එහිදී දුම්රියේ සිටි දුම්රිය මගීන් පොලිස් හදිසි ඇමතුම් අංශයට කළ දැනුම්දීම අනුව මහරගම දුම්රිය ස්ථානය වෙත මහරගම පොලීසියේ නිලධාරින් පැමිණ සැකකරු අත්අඩංගුවට ගෙන දරුවා පොලීසිය වෙත රැගෙන ගියා.

පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ අදාළ දරුවා මහනුවර - මයිලපිටිය ප්‍රදේයේ පදිංචි බවයි. ඔහු දෙමාපියන් සමග මහනුවර ශ්‍රී දළදා පෙරහර බැලීමට පැමිණි අවස්ථාවේදී අදාළ පුද්ගලයා විසින් දරුවා ආහාර රැගෙන දෙන බව පවසමින් රවටා දෙමාපියන් මගහැර කොළඹ ප්‍රදේශයට රැගෙන විත් තිබුණා. සැකකරු වයස අවුරුදු 30ක් වන පේරාදෙණියේ පදිංචිකරුවෙක්. පසුව මේ සම්බන්ධයෙන් මහරගම පොලිසිය ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද කරුණු වාර්තා කළා. එහිදී මහේස්ත්‍රාත්වරයා දෙමාපියන්ටද අවවාද කර ඇති අතර සැකකරු මහනුවර පොලිසිය වෙත බාරදෙන ලෙස නියෝග කර තිබුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now