කළුතර ගුරුවරයාට ඇප..
කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය විසින්, උපකාරක පංතිවලට සහභාගීවූ සිසුවියන් පිරිසකට අතවර කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි කළුතර උපකාරක පන්ති ගුරුවරයා ඇප මත මුදාහැරීමට නියෝග කර ඇත.
30 හැවිරිදි සැකකාර ගුරුවරයා කළුතර උතුර, සුභසාධක මාවත ප්‍රදේශයේ පදිංචි අයෙකි.
සැකකරු විවාහකයෙකු වන අතර ඔහුගේ බිරිඳ ද ඔහුට එරෙහිව පොලීසියට පැමිණිලි කර තිබෙන බවයි වාර්තා වී ඇත්තේ. අතවරවලට ලක්වූවන් අතර කළුතර කොට්ඨාසයේ පොලිස් ස්ථානයක නිලධාරිනියකගේ දියණියක් ද සිටින බව සඳහන්.
එමෙන්ම සැකකරු දැරියන්ට ලිංගික අතවර කිරීම් සිදුකරන අතරතුර සිදුකළ වීඩියෝ පටිගත කිරීම් 16ක් සම්බන්ධයෙන් අනාවරණය වන බවත් ඒවා නිරීක්ෂණය කරමින් අගතියටපත් දැරියන් සොයා ඉදිරි විමර්ශන සිදුකරන බවත් කළුතර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය පැවසුවා.
කළුතර උතුර ගාලුපාරේ පෞද්ගලික පංති පවත්වන සැකකාර ගුරුවරයා කුඩා කණ්ඩායම් වශයෙන් වෙනත් ස්ථානවල පංති පවත්වා ඇති අතර එහි දැරියන් ද අපයෝජනයට ලක්කර ඇද්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.
පොලීසිය සඳහන් කළේ, එම ගුරුවරයා - දැරියන්ව නිවෙස්වලට ඇරලවන මුවාවෙන් කළුතර ලාගෝස්වත්ත ප්‍රදේශයේ කැලයකට රැගෙන ගොස් - සිය මෝටර් රථය තුළදී ද ලිංගික අතවරකර ඇති බවට තොරතුරු ලැබුණු බවයි.
එමෙන්ම ඔහු සිය ජංගම දුරකථනයෙන් ඒවා පටිගතකර ඇති බවත් සඳහන්. එසේම, අන්තර්ජාලය ඔස්සේ පංති පවත්වන මුවාවෙන් ද ඔහු මව්පියන් නොමැති අවස්ථාවලදී සිසුවියන් හා සම්බන්ධ වෙමින් - ඔවුන්ට ඇඳුම් ගලවන ලෙසට උපදෙස් දී ඇති අතර, එම දර්ශන ද පටිගතකර තිබෙනවා.
එම දර්ශන ඔහුගේ ලැප්ටොප් පරිගණකයේ ගබඩාකර තිබියදී අදාළ උපකාරක පංති ගුරුවරයාගේ බිරිඳට හසුවී ඇති අතර, ඇය එම දැරියන්ගේ මව්පියන් දැනුවත් කිරීමෙන් පසුවයි ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීම ආරම්භ වී ඇත්තේ.
එමෙන්ම, කළුතර ලැගුම්හලකදී 16 හැවිදිරි පාසල් සිසුවියක් අභිරහස් ලෙස මියයෑමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකාරිය සහ සැකකරුවන් දෙදෙනා එළඹෙන 27 දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.