කළකට පසු ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත වෙයි...පොහොර නැතිව අස්වැන්න දෙගුණයක් වූ හැටි මෙන්න..

Jumbu fruit Mahinda Amaraweera Sri Lanka Ministry of Agriculture
By Aruna May 31, 2022 02:31 AM GMT
Report

ආහාර බෝගයක් ලෙස වගා කෙරෙන රටකජු බෝගය මේ වනවිට ජාතික අවශ්‍යතා මට්ටම ඉක්මවා, දෙගුණයක පමණ අස්වැන්නක් වාර්තා කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

අප රටේ වගා කෙරෙන ආහාර බෝග ප්‍රවර්ධනය සඳහා පත් කර ඇති බෝග නායකවරු සමඟ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා පැවැති සාකච්ඡාවකදී ශ්‍රී ලංකාවේ රටකජු වගාව සම්බන්ධව කරුණු විමසනු ලැබීය.

අප රටේ වාර්ෂික රටකජු අවශ්‍යතාව මෙ.ටො. 30,000කි.

නමුත් 2021 අවසන් වනවිට රටකජු වගාවෙන් ලද අස්වැන්න ප්‍රමාණය මෙ.ටො.64,000ක් ඉක්මවා ඇතැයි රටකජු වගාව පිළිබඳව බෝග නායක නියෝජ්‍ය අධ්‍යක්ෂ එස්.එන්.පී. වීරකෝන් මහතා ප්‍රකාශ කළේය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති නව රටකජු ප්‍රභේදයක් වන ලංකා ජම්බෝ නැමැති රටකජු ප්‍රභේදය නිසා ජම්බෝ පීනට්ස් නිෂ්පාදනයට පිටරටින් ආනයනය කරනු ලබන තොග පවා අත්හිටුවීමට මේ නිසා හැකි වී ඇත.

දැනට ජම්බෝ පීනට්ස් නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන්නේ, ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ප්‍රභේදය බැවින් මෙතෙක් විදේශ රටවලට ඇදී ගිය විශාල මුදලක් ඉතිරි කර ගැනීමට ද හැකි වී තිබේ.

රටකජු අමතර අස්වැන්න යොදා ගැනීම මඟින් ඒ ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනය සඳහා කටයුතු යොදන ලෙස අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

විශේෂයෙන් සිරුරට හිතකර රටකජු තෙල් හා රටකජු බටර් නිෂ්පාදන වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙසත්, තවදුරටත් රටකජු වගාව ව්‍යාප්ත කිරීමට පියවර ගත යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

රසායනික පොහොර හෝ කෘමිනාශක භාවිතයෙන් තොරව වගා කළ හැකි බෝගයක් වන රටකජු මෙන්ම එවැනි තවත් බෝග වර්ග වගා කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසත්, ගොවි ජනතාව ඒ සඳහා උනන්දු කළ යුතු බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now