“මම වාහන බදු වංචාවක් කළේ නැහැ” - ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් විශේෂ පැහැදිලි කිරීමක්

Sri Lanka Police Johnston Fernando Sri Lanka Politician Law and Order Sinhala news
By Ashfa Oct 28, 2026 05:24 PM GMT
Report

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ඔහු හා සම්බන්ධ අධිකරණ නඩුව පිළිබඳ පළවන සාවද්‍ය මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කර ඇත.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර ඇති පැහැදිලි කිරීම පහතින්,

2026 ඔක්තෝබර් 28 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබූ මා සම්බන්ධ නඩුව පිළිබඳව ඇතැම් මාධ්‍ය ආයතන විසින් පළකර ඇති වාර්තාවල කරුණු සාවද්‍ය ලෙස ඉදිරිපත් කර ඇති බව නිරීක්ෂණය කරමි.

අදාළ නඩුවේදී මා වෙත ගොනු කර ඇත්තේ මෝටර් රථ ආඥාපනත යටතේ වන චෝදනාවන් 3ක් පමණි.අදාළ මෝටර් රථය මෙරටට ආනයනය කිරීම, එහි හිමිකාරිත්වය හෝ ආනයන බදු නොගෙවීම සම්බන්ධයෙන් මා හට කිසිදු චෝදනාවක් ගොනු කර නොමැති බව අවධාරණය කරමි. එමෙන්ම අදාළ මෝටර් රථයේ හිමිකරු මා නොවන බවද පැහැදිලිව ප්‍රකාශ කර සිටිමි.

එවැනි පසුබිමක මා විසින් වාහන ආනයන බදු වංචාවක් සිදුකළ බවට හෝ එවැනි චෝදනාවකට වරද පිළිගෙන ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම සාවද්‍ය හා නොමඟ යවනසුලු බව සඳහන් කරමි.තවද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ මෝටර් රථ ආඥා පනතින් එම මෝටර් රථය සන්තකයේ තබා ගත් පුද්ගලයාට නඩුවක්ද පවරා ඇත.

මෝටර් රථයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් වන නීතිමය චෝදනාවකට වරද පිලිගැනීම වාහන ආනයන බදු වංචාවකට වරද පිළිගැනීම යනු සම්පූර්ණයෙන්ම වෙනස් කරුණු දෙකකි. එබැවින් මා විසින් වරද පිළිගත් චෝදනාවේ සැබෑ ස්වභාවය විකෘති කරමින්, මා වෙත ගොනු කර නොමැති බදු වංචා චෝදනාවකට වරද පිළිගත් බවට ජනතාව තුළ වැරදි මතයක් ඇති කිරීම අසාධාරණය. මෙම කරුණු සැලකිල්ලට ගෙන අදාළ මාධ්‍ය වාර්තා නිවැරදි කරන ලෙසත්, නඩුවේ සැබෑ නීතිමය තත්ත්වය නිවැරදිව මහජනතාව වෙත ඉදිරිපත් කරන ලෙසත් සියලු මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටිමි.