ජපාන භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළට
නිරිතදිග ජපානයේ ප්‍රදේශ රැසකට බලපෑ ප්‍රබල භූමිකම්පාවෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් ඇති බව ජපාන අගමැතිනි සනේ ටකයිචි ප්‍රකාශ කළාය.
අතුරුදන් වූ පුද්ගලයින් සොයා ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, තවත් පිරිසක් බේරා ගැනීම සඳහා කාලය සමඟ තරග කරමින් කටයුතු කරන බවද ඇය සඳහන් කළාය.
මෙම භූමිකම්පාව අඟහරුවාදා පස්වරුවේ ජපානයේ දකුණු ප්‍රධාන දූපත වන කියුෂුහි කුමමොටෝ ප්‍රදේශයට බලපා ඇති අතර, එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 7.1ක් ලෙස සටහන් වී තිබේ.
"තවමත් බේරා ගැනීමට බලා සිටින පිරිසක් ඉන්නවා. එය කාලයට එරෙහි සටනක්. හැකි සෑම අයුරකින්ම ඔවුන් සොයා බේරා ගැනීමට අපි උපරිම උත්සාහයක් දරනවා" යනුවෙන් ජපාන අගමැතිනි සනේ ටකයිචි ප්‍රකාශ කළාය.
එමෙන්ම උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ තම සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වන ලෙස විපතට පත් ජනතාවගෙන් ඉල්ලා සිටි ඇය, මියගිය පුද්ගලයින්ගේ පවුල්වලට සිය ශෝකය සහ සංවේගය ද පළ කළාය.
මේ අතර, දැඩි හානි සිදුවූ සාප්පු සංකීර්ණ සහ අනෙකුත් ගොඩනැගිලි ආශ්‍රිතව සෝදිසි හා ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා ජපාන ස්වයං ආරක්ෂක හමුදාව ද එක්ව සිටින බව වාර්තා වේ. එම හමුදා ජලය සැපයීම, රෝගීන් ආරක්ෂිත ස්ථාන වෙත මාරු කිරීම සහ සහන සේවා සැපයීම සඳහා ද දායක වී ඇත.
දැඩි ලෙස පීඩාවට පත් ප්‍රදේශවලට ආහාර, පානීය ජලය සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කඩිනමින් බෙදා හැරීමට රජය කටයුතු කරමින් සිටින බවද ජපාන අගමැතිනි සනේ ටකයිචි වැඩිදුරටත් සඳහන් කළාය.