ජපානයෙන් ශ්‍රී ලංකාවට සුබ ආරංචියක්..මෙරට තරුණ පිරිස් වලට සුපිරි අවස්ථාවක්..

Dinesh Gunawardena Sri Lanka Japan Sri Lanka Relationship
By Aruna Nov 03, 2022 10:59 PM GMT
Report

ජපානයේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන ශිමෝ ( SHIMO) ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ශිමොටෝරි හිරෝකි (SHIMOTORI HIROYUKI) මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී තිබෙනවා.

සීතාවක ප්‍රදේශයේ ජපන් භාෂා පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහ ශිමෝ ( SHIMO) ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා අතර මෙම සාකච්ඡාව පැවැත්විණි.

මෙම ජපන් භාෂා අධ්‍යාපනය ශ්‍රී ලංකාවේ ජනතාවට ජපානයට පැමිණීමට හැකිවන පරිදි රටවල් දෙකම ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

එමගින් පුහුණු වන ශිෂ්‍යයින් සඳහා ජපානයේ ශිමෝ ( SHIMO) ආයතනයේ රැකියා අවස්ථා ලබා දීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කෙරිණි.

ජපානයට යෑමට කැමැති ඕනෑම පුද්ගලයකුට ජපන් භාෂා අධ්‍යාපනය නොමිලේ ලබා ගැනීමටත් දිළිඳු අයට පවා විශිෂ්ට ලෙස ජපන් භාෂා අධ්‍යනය ලැබිය හැකි පරිසරයක් නිර්මාණය කිරීමටත් මෙමගින් අපේක්ෂා කෙරෙයි.

ජපානයේ රැකියා අවස්ථා සඳහා යොමු වන තරුණ තරුණියන්ට ඇතිවන සන්නිවේදන ගැටළු අවම කිරීම සඳහා දෙරටේ සංස්කෘතීන් සම්බන්ධයෙන්ද මෙම පාඨමාලාවේදී විෂේශ අධ්‍යාපනයක් ලබාදීමට අපේක්ෂා කෙරෙයි.

මීට අමතරව ශ්‍රී ලංකාවේ පරිභෝජනය නොකරන මත්ස්‍ය කොටස් ප්‍රතිචක්‍රීකරණය කර ජපානයට සත්ව ආහාර හැටියට ආනයනය කරන නව ව්‍යාපෘතියක් මිරිස්ස ප්‍රදේශයේ ආරම්භ කිරීමට ද ශිමෝ ( SHIMO) ආයතනය බලාපොරොත්තු වන බව මෙහිදී අනාවරණය විය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා සහ ශිමෝ ( SHIMO) ආයතනයේ ශ්‍රී ලංකාවේ නියෝජිත ඉනෝහාර චමිල යන මහත්වරුන්ද එක් විය.

– අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now