ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට නව හිමිකරුවන්

Latest Headlines Jaffna Kings Sinhala news Puwath.lk LPL - Lanka Premier League
By R.rishma Aug 05, 2026 09:17 AM GMT
Report

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ සාර්ථකම කණ්ඩායම ලෙස සැලකෙන ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නව හිමිකාරීත්වයක් යටතට පත්ව තිබේ.

හිටපු ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක සහීර් ඛාන් සහ ව්‍යාපාරික නාගේන්ද්‍ර සිද්දෞතම් සම හිමිකරුවන් වන ස්ටොක්හෝම් පදනම් කරගත් Anchor Sports AB සමාගම විසින් එම කණ්ඩායම අත්පත් කරගෙන ඇති අතර, ඉදිරියේදී කණ්ඩායම "Anchor Jaffna Kings" ලෙස නම් කිරීමට නියමිතය.

පසුගිය ජූලි 23 වැනිදා පෙර හිමිකාරීත්වය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ LPL හිමිකම් දරන Innovation Production Group යටතේ තාවකාලික පරිපාලනයකට යොමු කර තිබූ ජැෆ්නා කණ්ඩායම, මෙම ගනුදෙනුවත් සමඟ යළි ස්ථාවර හිමිකාරීත්වයක් යටතට පත්ව තිබේ.

Anchor Sports AB සමාගම මේ වනවිට බෙල්ජියමේ European T20 Premier League තරගාවලියේ Antwerp Anchors කණ්ඩායම සහ කැනඩාවේ Super60 ලීගයේ Vancouver Anchors පිරිමි හා කාන්තා කණ්ඩායම් හිමිකරගෙන සිටින අතර, ජැෆ්නා කිංග්ස් කණ්ඩායමද එම ජාත්‍යන්තර ක්‍රීඩා ජාලයට එක්වනු ඇත.

ජැෆ්නා කණ්ඩායමේ පෙර හිමිකාරීත්වය දැරූ Sports Commune සමාගමේ සම හිමිකරුවෙකු වූ හිටපු ඉන්දීය වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩක මංජෝත් කල්රා තරග පාවාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව එම හිමිකාරීත්වය අවසන් කර තිබුණි.

කෙසේ වෙතත්, පිටියෙන් පිටත අර්බුද පැවති අවස්ථාවලදී පවා ජැෆ්නා කිංග්ස් LPL ඉතිහාසයේ වඩාත්ම සාර්ථක කණ්ඩායම බවට පත්වෙමින් ශූරතා පහෙන් හතරක් දිනාගෙන තිබේ. මෙවර තරගාවලියේදීද මූලික වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇත.

නාගේන්ද්‍ර සිද්දෞතම් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සම්ප්‍රදායට ගරු කරන බවත්, ජැෆ්නා කණ්ඩායම සඳහා ආයෝජනය කරමින් LPL තරගාවලියේ ඉදිරි සංවර්ධනයට දායක වීමට බලාපොරොත්තු වන බවත්ය.

සහීර් ඛාන් සඳහන් කළේ ශ්‍රී ලංකාවෙන් බිහිවන වේග පන්දු යවන්නන්ගේ දක්ෂතා තමා සැමවිටම අගය කරන බවත්, හිමිකරුවෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ සම්බන්ධ වීමට ලැබීම පිළිබඳ සතුටට පත්වන බවත්ය.

මේ අතර, LPL තරගාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල සඳහන් කළේ සහීර් ඛාන් වැනි අත්දැකීම් සපිරි පුද්ගලයෙකුගේ සම්බන්ධත්වය ලීගයට විශාල ශක්තියක් වන අතර, ඔහුගේ මඟපෙන්වීම ශ්‍රී ලාංකික තරුණ ක්‍රීඩකයන්ගේ දියුණුවට වැදගත් වනු ඇති බවයි.