ඉරානයෙන් ලංකාවට විශේෂ පොරොන්දුවක්

Sri Lanka Economy of Sri Lanka Iran
By Sewvandhi Aug 07, 2023 08:09 AM GMT
Report

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතා ප්‍රකාශ කළේ, සිය විද්‍යාත්මක සහ තාක්ෂණික දැනුම මෙන්ම විශේෂඥතා ශ්‍රී ලංකාව ඇතුළු මිතුරු රටවල් සමඟ බෙදා ගැනීමට ඉරානය සූදානම් බවයි.

ඊයේ (06) මෙරට විදේශ අමාත්‍ය අලි සබ්රි සමඟ ටෙහෙරාන් නුවර පැවති සාකච්ඡාවකදී ඉරාන ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ ඉරාන ශ්‍රී ලංකා ඒකාබද්ධ ආර්ථික සහයෝගීතා කොමිසම යළි සක්‍රිය කළ යුතු බවය.

මේ අතර ඉරාන ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, අධිරාජ්‍යවාදී සහ ආත්මාර්ථකාමී විදේශ මැදිහත්වීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පරීක්ෂාකාරී වියයුතු බවයි.

ඉරාන විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ විදේශ කටයුතු අමාත්‍යවරයා ඉරාන විදේශ ඇමති අමීර් අබ්දොල්ලාහියන් සමඟ ද සාකච්ඡාවල නිරත වූ බවයි.

ඉරාන ශ්‍රී ලංකා ඒකාබද්ධ ආර්ථික කොමිසමේ සහ ඒකාබද්ධ කොන්සියුලර් සහ සංචාරක කොමිසම්වල රැස්වීම් පැවැත්වීම පිළිබඳ ඉරානය කැමැත්තෙන් පසුවන බව ඉරාන විදේශ අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබේ.

අනාගත ආර්ථීක වර්ධනයෙන් තුනෙන් දෙකක් සිදුවනු ඇතැයි අපේක්ෂිත ආසියාවේ මුවදොර වන ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් ආයෝජනය කරන්නැයි විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා එහිදී ඉරාන සමාගම්වලින් ඉල්ලීමක් කර ඇතැයි සඳහන්ය.

ඉරාන මහ බැංකු අධිපති මොහොමඩ් රේසා ෆර්සින් ද විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා හමුවී ඇති අතර ඔහු ප්‍රකාශ කර ඇත්තේ දෙරටේ බැංකු අතර සබඳතා වර්ධනය ආර්ථික සබඳතා වර්ධනයටද ඉවහල් වනු ඇති බවය.