කමේනිගේ අවමංගල්‍ය පෙරහැරට බාධා කළ බවට ඉරානයෙන් අමෙරිකාවට චෝදනා
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි අමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය බවට ඉරානය සඳහන් කිරීමෙන් අනතුරුව, ඔහුගේ අවමංගල්‍ය කටයුතු නගර කිහිපයකදී පැවැත්වෙමින් තිබේ.
ටෙහෙරානයේ පැවති මහජන උපහාර උත්සවවලින් අනතුරුව, ආගමික චාරිත්‍ර සඳහා කමේනිගේ දේහය ඉරාකයේ කර්බාලා වෙත රැගෙන ගොස් ඇති අතර, පසුව අද (09) ඔහුගේ උපන් ගම වන මෂාඩ්හිදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
මේ අතර, කමේනිගේ අවමංගල්‍ය පෙරහැර කඩාකප්පල් කිරීමේ අරමුණින් අමෙරිකාව ප්‍රහාර එල්ල කළ බවට ඉරාන විප්ලවවාදී ආරක්ෂක හමුදාව චෝදනා කර තිබේ.
එම සංවිධානය සඳහන් කර ඇත්තේ, මෂාඩ් වෙත ගමන් කරන මාර්ගවල පිහිටි පාලම් දෙකක් අමෙරිකාව විසින් ඉලක්ක කර ඇති බවයි.
එම ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස බහරේනයේ සහ කුවේටයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු වෙත මිසයිල ප්‍රහාර එල්ල කළ බවද ඉරාන විප්ලවවාදී ආරක්ෂක හමුදාව ප්‍රකාශ කර ඇත.
තවද, ඉදිරියේදී මෙවැනි ප්‍රහාර නැවත සිදුවුවහොත් කලාපයේ තවත් අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරන බවටද එම සංවිධානය අනතුරු අඟවා තිබේ.
කෙසේ වෙතත්, මෙම චෝදනා සම්බන්ධයෙන් අමෙරිකානු පාර්ශවයෙන් මෙතෙක් නිල ප්‍රතිචාරයක් නිකුත් කර නොමැත.