ඉන්ස්ටග්‍රෑම්, ෆේස්බුක් සහ මැසෙන්ජර් හදිසියේ බිඳ වැටෙයි
මෙටා සමාගමට අයත් ඉන්ස්ටග්‍රෑම්, ෆේස්බුක් සහ මැසෙන්ජර් සමාජ මාධ්‍ය වේදිකා ඊයේ (22) රාත්‍රියේ හදිසියේ බිඳ වැටීම හේතුවෙන් ලොව පුරා මිලියන සංඛ්‍යාත පරිශීලකයින් පීඩාවට පත්ව තිබේ.
මෙම සේවා ඇනහිටීම හේතුවෙන් බොහෝ පරිශීලකයින්ට සෘජු පණිවිඩ (Direct Messages) යැවීමට හා ලැබීමට නොහැකි වූ අතර, ඇතැමුන් පණිවිඩ "Loading" තත්ත්වයේ සිරවී තිබූ බව වාර්තා කර ඇත.
එමෙන්ම ඇතැම් පරිශීලකයින්ට තම ගිණුම් වෙත පිවිසීම සහ නව සටහන් පළ කිරීමේ ද ගැටලු මතුවී තිබුණි.
අන්තර්ජාල සේවා තත්ත්වය නිරීක්ෂණය කරන Downdetector වෙබ් අඩවියට කෙටි කාලයක් තුළ ඉන්ස්ටග්‍රෑම් සේවාව සම්බන්ධයෙන් පැමිණිලි දහස් ගණනක් ලැබී ඇති අතර, ෆේස්බුක් සහ මැසෙන්ජර් සේවාවන් සම්බන්ධයෙන් ද පැමිණිලි රැසක් වාර්තා වී තිබේ.
මෙය පසුගිය ඉරිදා සිදු වූ සේවා ඇනහිටීමෙන් පසු සතියක් ඇතුළත මෙටා සමාගමේ යෙදුම්වලට බලපෑ දෙවන තාක්ෂණික දෝෂය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අන්තර්ජාල විශේෂඥයින් පෙන්වා දෙන්නේ, මෙටා සමාගමේ ඒකාබද්ධ පණිවිඩකරණ පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම සේවාවන් තුනම එකවර බිඳ වැටෙන්නට ඇති බවයි.
කෙසේ වෙතත්, පැය කිහිපයකට පසු සේවාවන් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වූ අතර, මෙම දෝෂයට නිශ්චිත හේතුව සම්බන්ධයෙන් මෙටා සමාගම මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.