ගෑස්, විදුලිය සහ අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් අද සිට තීරණයක් ගනී..වෙනස් වූ මිල ගණන් මෙන්න..

Sri Lanka Litro Gas Ceylon Electricity Board Power Cut Today Businessman
By Aruna Dec 01, 2022 02:56 AM GMT
Report

අද දිනය තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් දිවයින පුරා බෙදා හැරීමට කටයුතු කරන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ, ඉන් 80,000ක් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩර බවයි.

මේ අතර, ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 04 ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව රතු කැකුළු කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 199ක්, කීරි සම්බා කිලෝග්‍රෑමයක මිල රුපියල් 225 ක්, ලොකු ළුෑණු කිලෝග්‍රෑමයක් රුපියල් 225 ක් සහ හාල්මැස්සන් කිලෝග්‍රෑමයක් රුපියල් 1150ක්ද වන ලෙස මිල පහත දැමීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙම මිල ගණන් අද (01) සිට ක්‍රියාත්මකයි.

මේ අතර 2023 වර්ෂයේ ජනවාරි සහ ජුනි මාසවල පියවර 2කින් විදුලි ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

යෝජිත ඉහළ නැංවීම ගැන විදුලිබල මණ්ඩල නියෝජිතයින් ඊයේ ආර්ථිකය ස්ථායිකරණයට අදාළ කෙටි හා මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීමේ ජාතික සභා අනු කමිටුවට පැහැදිළි කිරීමක් සිදුකර ඇත.

කෙසේ වෙතත් මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ මේ මොහොතේ විදුලි ගාස්තු ඉහළ දැමීමක් සම්බන්ධයෙන් සලකාබැලීමක් සිදුනොකරන බවයි.

මේ අතර දෙසැම්බර් 15 වනදායින් පසුව සංචාරක අමාත්‍යාංශය විසින් හඳුනාගෙන ඇති සියලුම සංචාරක කලාප සඳහා රාත්‍රී විදුලි කප්පාදුවක් සිදුනොකෙරෙන බව අමාත්‍යවරයා පවසයි.

එහෙත් දිවයිනේ සෙසු ප්‍රදේශවලට රාත්‍රී කාලයේ විදුලි කප්පාදුව පැයක් දක්වා අඩුකිරීමට නියමිතය.

එසේම නත්තල් සහ අලුත් අවුරුදු දිනවල විදුලි කප්පාදුවක් සිදුනොවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now