දිනෙන් දින ඉහළ යන ශ්‍රී ලංකාවේ උද්ධමනය ගැන නවතම දත්ත වලින් හෙළිවූ දේ

Sri Lanka Economic Crisis Sri Lanka Sri Lanka Inflation Sri Lanka Food Crisis
By Sewvandhi Sep 30, 2022 11:12 AM GMT
Report

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ නවතම දත්ත අනුව ගත වූ අගෝස්තු මාසය හා සැසඳීමේ දී සැප්තැම්බර් මාසයේ උද්ධමනය 69.8% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ පෙර මාසයේ සටහන් වූ 64.3%ට වඩා 5.5%ක උද්ධමන වර්ධනයක් පෙන්වමින්.

මෙම දත්ත අනුව පෙර වසරේ සැප්තැම්බර් මාසය හා සැසඳීමේ දී මේ සැප්තැම්බරය වන විට ගත වූ මාස 12ක කාලය තුළ උද්ධමනයෙහි ප්‍රතිශතාත්මක වැඩිවීම 64.1%කින් ඉහළ ගොස් තිබෙන්නේ පෙර වසරේ සැප්තැම්බරයේ පෙන්නුම් කළ උද්ධමනාත්මක අගය වූ 5.7%ක අගය 12.25ක ගුණයකින් වැඩි වෙමින්.

මේ අතර ගත වූ අගෝස්තුව හා සැසඳීමේ දී සැප්තැම්බරය වන විට ආහාර කාණ්ඩයේ උද්ධමනය 94.9% දක්වා 1.2%කින් වැඩි වූයේ අගෝස්තුවේ දී ආහාර කාණ්ඩයේ උද්ධමනය ලෙස වාර්තා වූ 93.7%ක අගයට වඩා වැඩි අගයක් පෙන්වමින්. ආහාර නො වන කාණ්ඩයේ උද්ධමනය ද ගත වූ අගෝස්තු මාසය හා සැසඳීමේ දී 7.4%කින් ඉහළ ගොස් ඇත්තේ එහි උද්ධමනාත්මක අගය 57.6% දක්වා වැඩි කරමින්.

මේ අතර අදාල සංඛ්‍යා දත්ත වාර්තා අනුව සැප්තැම්බර් මාසයේ දී ඇල්කොහොල් හා දුම්කොල ආශ්‍රිත නිෂ්පාදනවල උද්ධමන අගය 39.4%ක් ලෙස ඉහළ ගියේ පෙර මාසයට වඩා 3.8%ක ප්‍රතිශතාත්මක වර්ධනයක් පෙන්නුම් කරමින්. තව ද රෙදිපිළි සහ පාවහන් කාණ්ඩයේ උද්ධමනය සැප්තැම්බර් මාසයේ දී දැක්වුණේ 66.0%ක් ලෙසයි. ඒ ගත වූ අගෝස්තුව හා සැසඳීමේ දී 10%ක වර්ධනයක්. තව ද ඉකුත් අගෝස්තු මාසය හා සැසඳීමේ දී නිවාස, ජලය, විදුලිය ගෑස් සහ ඉන්ධන ඇතුලත් කාණ්ඩයේ උද්ධමනය 21.8% සිට 31.2% දක්වා ඉහළ ගියේ පෙර මාසය හා සැසඳීමේ දී 9.4%ක වර්ධනයක් පෙන්නුම් කරමින්. 

 මේ අතර සැප්තැම්බර් මාසයේ දී ප්‍රවාහන වියදම් දැක්වෙන කාණ්ඩයේ උද්ධමනය 150.4%ක් ලෙස එම වාර්තාවේ සඳහන් වන අතර පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී එම අගය සටහන් වූයේ 8.3%ක් ලෙසයි. ඒ අනුව පෙර වසර හා සැසඳීමේ දී ප්‍රවාහන වියදම්වල වර්ධනය 142.1%කින් ඉහළ ගොස් තිබෙනවා.

තව ද ගත වූ අගෝස්තුව හා සැසඳීමේ දී සන්නිවේදන කාණ්ඩයේ උද්ධමනයෙහි කැපී පෙනෙන වැඩි වීමක් පෙන්නුම් කරන අතර එම අගය 7.3% සිට 23.5% දක්වා 16.2%ක ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්. මෙම දත්ත වාර්තාව අනුව හෝටල් සහ ආපන ශාලා වියදම් ඇතුළත් කාණ්ඩයේ උද්ධමන ප්‍රතිශතය ගත වූ අගෝස්තුවේ සිට සැප්තැම්බර්ය වන විට 87.8% සිට 96.6% දක්වා 8.8%කින් ඉහළ ගොස් තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now