යෝෂිත රාජපක්ෂ සහ වසන්ත කරන්නාගොඩට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ
දූෂණ චෝදනාවකට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති අද්මිරාල් (විශ්‍රාමික) වසන්ත කරන්නාගොඩට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.
අල්ලස් කොමිසමට අනුව, 2006 සැප්තැම්බර් 1 සිට 2007 ජූනි 8 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කළ වසන්ත කරන්නාගොඩ මහතා, යෝෂිත රාජපක්ෂ මහතාට බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ Royal Navy Young Officers Course පාඨමාලාවට අයුතු ලෙස සහභාගි වීමට අවස්ථාව සලසා දීමෙන් රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා කර ඇත.
එම ක්‍රියාව හරහා අයුතු ප්‍රතිලාභයක් ලබාගත් බවට යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිවද චෝදනා එල්ල කර ඇති අතර, විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව සමස්ත අධිචෝදනා 08ක් ගොනු කර තිබේ.
අදාළ අධිචෝදනා මේ වන විට කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර ඇති අතර, චෝදනා භාරදීම සඳහා විත්තිකරුවන්ට ඉදිරියේදී අධිකරණය විසින් සිතාසි නිකුත් කිරීමට නියමිතය.
මෙම චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගය අවසන් වන තෙක් විත්තිකරුවන් නීතිය ඉදිරියේ නිර්දෝෂී බවට සැලකෙන බව සඳහන් කළ යුතුය.