ඉන්දීය විදේශ ලේකම් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හමුවෙයි
ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි මහතා ඇතුළු දූත පිරිස අද (05) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමු වී ද්විපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳ සාකච්ඡා පවත්වා තිබේ.
මෙහිදී ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරිණි.
අග්‍රාමාත්‍යවරිය රජය ක්‍රියාත්මක කරමින් සිටින අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, ඩිජිටල් අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සහ සැමට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව ද ඉන්දීය දූත පිරිස දැනුවත් කළාය.
එමෙන්ම දෙරටේ උසස් අධ්‍යාපන ආයතන අතර සබඳතා ශක්තිමත් කිරීම, ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් පුළුල් කිරීම, ඒකාබද්ධ පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම සහ අධ්‍යයන සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳව ද සාකච්ඡා පැවැත්විණි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික වෙළෙඳ හා ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කරගත් අතර, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ ජනතා සබඳතා තවදුරටත් වර්ධනය කිරීම සඳහා පවතින අවස්ථා පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
මෙම හමුවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඇතුළු දෙරටේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.





