ශ්‍රී ලංකාවට තවත් ආධාර අවශ්‍ය නැති බව වැඩිම ආධාර සැපයූ ඉන්දියාව තීරණය කරයි

Sri Lanka Economic Crisis Sri Lanka Government Of Sri Lanka Sri Lanka Food Crisis India
By Sithumi Sep 15, 2022 01:01 PM GMT
Report

මේ වන විට ශ්‍රී ලංකාව බිඳ වැටී ඇති සිය ආර්ථිකය යථාවත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කර ඇති බැවින් ශ්‍රී ලංකාව සඳහා තව දුරටත් අරමුදල් ලබා දීමට ඉන්දියාව සැලසුම් නො කරන බව වාර්තා වනවා.

මේ වන විටත් ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට මූල්‍යමය සහ ද්‍රව්‍යමය වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 4 කට ආසන්න මුදලක් ශ්‍රී ලංකාවට පිරිනමා තිබෙනවා. මේ වසර තුළ දී ශ්‍රී ලංකාවට වැඩිම ආධාර ප්‍රමාණයක් සපයා ඇත්තේ ඉන්දියාව විසින්. කෙසේ වෙතත් ඉන්දීය ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ ඉන්දියාව මෙම තීරණය ගැනීමේ දී මේ වන විට ශ්‍රී ලංකාවේ යථාවත් වන ආර්ථික තත්වය ද සැළකිල්ලට ගෙන ඇති බවයි.

"අපි දැනටමත් ඩොලර් බිලියන 3.8 ක ආධාර ලබා දී තිබෙනවා. කිසිදු රටකට තවත් රටකට දිගට ම ආධාර ලබා දිය නො හැකියි. දැන් සියල්ල IMF සමග සාකච්චා කර ගත යුතුයි." ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඉන්දීය රජයේ මූලාශ්‍රයක් රොයිටර් වෙත කියා තිබෙනවා. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ආරංචි මාර්ග පැවසුවේ ඉන්දියාවේ මෙම තීරණය පුදුමයට කරුණක් නො වන නමුත්, තවත් විශාල පරිමාණයේ සහයෝගයක් නුදුරේදී ම ලැබෙනු ඇති බවට නව දිල්ලිය මීට මාස කිහිපයකට පෙර ඔවුන්ට ඉඟි පළ කළ බවයි.

කෙසේ වෙතත්, මෙම වසර අග දී ජපානය, චීනය, දකුණු කොරියාව යන රටවල් සමඟ ශ්‍රී ලංකාව පැවැත්වීමට සැලසුම් කර ඇති පරිත්‍යාගශීලීන්ගේ සමුළුවකට ඉන්දියාවට ද ආරාධනා කරන බව එම ආරංචි මාර්ගය පැවසුවා.

මේ අතර තවත් රජයේ මූලාශ්‍රයක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඩොලර් බිලියන 1ක හුවමාරු ගිවිසුමක් සඳහා වූ සාකච්ඡා සහ මැයි මාසයේ දී සිදු කරන ලද ඉන්ධන මිලදී ගැනීම සඳහා වන දෙවන ඩොලර් මිලියන 500 ක ණය සඳහා වූ ඉල්ලීම ද සුළු ප්‍රගතියක් ලබා ඇති බවයි. කෙසේ වෙතත් ඉන්දියාවේ මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශය සහ එහි මහ බැංකුව මෙම අදහස් දැක්වීම සඳහා වූ ඉල්ලීම්වලට ක්ෂණිකව ප්‍රතිචාර දක්වා නැහැ.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW