ඉන්දියාවේ පළමු ඩෙංගු එන්නත QDENGA සඳහා නිල අනුමැතිය හිමිවෙයි
ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත සඳහා නිල අනුමැතිය ලබාදී තිබේ. ඉන්දීය ඖෂධ පාලක ජෙනරාල්වරයා (DCGI) විසින් ජපානයේ ටකේඩා (Takeda) ජෛව ඖෂධ සමාගම සංවර්ධනය කළ QDENGA ඩෙංගු එන්නතට වෙළෙඳපොළ අනුමැතිය ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වයස අවුරුදු 4 සිට 60 දක්වා පුද්ගලයින් සඳහා මෙම එන්නත අනුමත කර ඇති අතර, මීට පෙර ඩෙංගු ආසාදනය වී තිබේද යන්න නොසලකා එය ලබාදිය හැකි බව සඳහන් වේ. එමෙන්ම, මෙම එන්නත ලබාගැනීමට පෙර ඩෙංගු ආසාදනයක් පැවතිදැයි පරීක්ෂා කිරීම අවශ්‍ය නොවන බවද වාර්තා වේ.
ටකේඩා සමාගම සඳහන් කළේ, 2022 වසරේ සිට QDENGA එන්නත රටවල් 43ක අනුමත කර ඇති අතර, මේ වන විට එහි මාත්‍රා මිලියන 32කට වැඩි ප්‍රමාණයක් ලොව පුරා බෙදාහැර ඇති බවයි.
වසර හතක් පුරා සිදුකළ අධ්‍යයනවල ප්‍රතිඵල අනුව, ඩෙංගු වෛරසයේ සෙරොටයිප් හතරටම එරෙහිව ආරක්ෂාව ලබාදීමටත්, රෝහල්ගත වීමේ අවදානම අවම කිරීමටත් මෙම එන්නත සමත් බව සමාගම පවසයි.
ඉන්දියාවේ ලබාදුන් අනුමැතිය සඳහා අදියර I, II සහ III සායනික අත්හදා බැලීම් 19කින් ලබාගත් දත්ත පදනම් කරගෙන ඇති අතර, ඊට පුද්ගලයින් 28,000කට වැඩි පිරිසක් සහභාගී වී තිබේ. ඉන්දියාවේ සිදුකළ අදියර III DEN-302 අත්හදා බැලීමේ ප්‍රතිඵලද එම තීරණයට පදනම් වී ඇත.
QDENGA එන්නත මාස තුනක පරතරයකින් ලබාදෙන මාත්‍රා දෙකකින් සමන්විත වේ.
ටකේඩා සමාගම පෙන්වා දෙන්නේ, ලොව ඩෙංගු රෝග බරෙන් සැලකිය යුතු කොටසක් ඉන්දියාවට අයත් වන අතර, එරටේ ඩෙංගු වෛරසයේ සෙරොටයිප් හතරම සංසරණය වන බවයි. එම නිසා මෙම එන්නත ඩෙංගු මර්දනය සඳහා වැදගත් ඉදිරි පියවරක් වනු ඇති බව සමාගම සඳහන් කරයි.
මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ද ඩෙංගු ආවේණික කලාපවල භාවිතය සඳහා QDENGA එන්නත නිර්දේශ කර ඇති අතර, එය WHO පූර්ව සුදුසුකම් ද ලබා ඇති බව වාර්තා වේ.