මෙරටට සුබ ආරංචියක්. මෙරට ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කළ විශේෂ ප්‍රකාශය..!.

Sri Lanka IMF Sri Lanka
By Sithumi Oct 24, 2023 10:19 AM GMT
Report

 ශ්‍රී ලංකාවේ මේ වන විට ආර්ථිකය සම්බන්ධයෙන් වැදගත් කාරයක් ඉටු කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි. ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ඉදිරිපත් කළ ප්‍රතිසංස්කරණ නිසි පරිදි ක්‍රියාත්මක කිරීම අතින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසු වන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා.

එම කැපවීම ශ්‍රී ලංකාවට තවදුරටත් සහයෝගය ලබාදීම සඳහා හේතුවක් වන බවයි එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්තී සුබ්‍රමනියම් මහතා පෙන්වා දෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් මුදල් අමාත්‍යාංශයේ දී පවත්වා තිබුණා.

එහිදී ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහතා මෙම අදහස් පළකළ බව මුදල් රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළ අතර මෙහිදි විධායක අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ප්‍රතිසංස්කරණ යෝජනාවලින් බහුතරයක් නියමිත පරිදි අවසන් කරමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවන වාරිකය ලබාගැනීමේ මාර්ගයට අවතීර්ණ වී ඇති බවයි.

එහිදී අදහස් දැක්වු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදෙන සහයෝගය අගය කර තිබුණු අතර දෙවන වාරිකය පිළිබඳ සුබවාදී අපේක්ෂාවෙන් පසු වන බව පෙන්වාදුන් රාජ්‍ය අමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සම්පූර්ණයෙන් අවසන් කිරීමට තිරසර ආර්ථිකයක් නිර්මාණය කිරීමට හේතු වන බව ද  පවසා තිබෙනවා.

විශේෂයෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සහ ඊට ඉන්දියාව ඇතුළු සෙසු රටවල් ලබාදෙන සහයෝගය පිළිබඳව මෙහිදි සාකච්ඡාවට ලක් වු බව මුදල් රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. දෙවන වාරිකය ලබාදීමටද පසුගියදා කාර්‍ය මණ්ඩල අනුමැතිය හිමිවීමද මේවන විට රටේ ආර්ථිකය සම්බන්ධයෙන් වැදගත් කාරණාවක් බවට පත්ව තිබෙනවා.