ශ්‍රී ලංකාවට IMF සහය - අද සාකච්ඡාවේදී සිදු වූ දේ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාව සඳහා පත්කර ඇති නියෝජිතයින් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද (24) හමුවක් පැවැත්විය. එම හමුව අද පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී සිදුවී තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට අනුකූලව මෙම දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහායවීමට අපේක්ෂා කරන බව එම නියෝජිත පිරිස අදාළ හමුවේදී පවසා ඇත.
සතියක කාලයක් මෙරට රැඳීසිටින IMF නියෝජිත පිරිස මාණ්ඩලික මට්ටමේ ගිවිසුමකට එළැඹීමට අදාළව සහ ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳ දීර්ඝව අධ්‍යයනයට ලක්කරමින් සිටී.
ඒ අනුව අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව ඇතුළු ආර්ථික බලධාරීන් හා විශේෂඥයන් සමග සිදු කළ සාකච්ඡා සහ වත්මන් තත්ත්වය පිළිබඳ ඔවුන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානි පීටර් බෲවර් (Peter Breuer), මෙහෙයුම් ප්‍රධානි මසහිරෝ නොසාකි (Masahiro Nozaki), නේවාසික නියෝජිත ආචාර්ය ටුබාගස් ෆෙරිදානු සෙට්යාවන් (Tubagus Feridhanu setyawan), ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඈන් මාරි ගුල්ඩේ (Anne Marie Gulde), ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ ආචාර්ය සී. අමරසේකර හා ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක, මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් ලේකම් කේ.එම්.එම්. සිරිවර්ධන, නියෝජ්‍ය මුදල් ලේකම් එම්.එස්.එස්. සමන් ප්‍රනාන්දු, නියෝජ්‍ය අධිපති ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු සහ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය පී.කේ.ජී. හරිස්චන්ද්‍ර යන පිරිස මෙම අවස්ථාවට එක්විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |