හැඳුනුම්පත නිකුත් කිරීමේදී ඡායාරූපය සම්බන්ධයෙන් අති විශේෂ ගැසට්ටුවක් නිකුත් කරයි..

Informatics Institute of Technology Sri Lanka Technology
By Aruna Dec 19, 2023 02:50 AM GMT
Report

හැඳුනුම්පතක් හෝ හැඳුනුම්පතක අනුපිටපතක් ලබා ගැනීමට ඉල්ලුම් කරන පුද්ගලයෙකුගේ ඩිජිටල් ඡායාරූප පිටපත් ලබාගැනීම සඳහා ලියාපදිංචි කරන ලද ඡායාරූප ශිල්පියෙකු විසින් අයකළ යුතු උපරිම ගාස්තුව රුපියල් 400 දක්වා ඉහළ නංවා තිබෙන බව දන්වා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව,මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත්තේ, 2016 වසරේ නිකුත් කළ ගැසට් පත්‍රයේ සඳහන් මිල අහෝසි කරන බවයි.

මීට පෙර ඒ සඳහා අයකළ යුතු උපරිම ගාස්තුව රුපියල් 150ක් ව පැවතියා.

මේ අතර, ඩිජිටල් හැදුනුම් පත ලබන ජනවාරියේ සිට නිකුත් කිරීමට ද නියමිත තිබේ.

රුපියල් බිලියන හතරක ඉන්දීය ප්‍රදානයක් ලෙස නිකුත් කෙරෙන මෙම හැදුනුම්පතට පුද්ගලයාගේ ජෛව තොරතුරු වන ඇසේ කළු ඉංගිරියාව, ඇඟිලි සලකුණු සහ ලේ වර්ගය පිළිබඳ දත්තයන්ද ඇතුළත් කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.

මීට ඉහත ඩිජිටල් හැදුනුම්පත ඉල්ලුම් කරද්දී ජීව දත්ත තොරතුරු 76ක් ඉල්ලා තිබුණද නව ඩිජිටල් හැදුනුම්පත ලබා ගැනීම සඳහා අවශ්‍ය කරනුයේ ජීව දත්ත තොරතුරු හයක් පමණක් වීම ද විශේෂත්වයක්.

ඒ අනුව, අලුතින් ඩිජිටල් හැඳුනුම් පතක් ඉල්ලුම් කරද්දී නම, ලිපිනය , උපන්දිනය, ස්ත්‍රී පුරුෂ භාවය ,දුරකථන අංකය මෙන්ම ඊමේල් ලිපිනයක්ද ලබාදිය යුතුව තිබේ.

රජයේ අරමුණ වී තිබෙන්නේ, අලුතින්ම හැදුනුම්පතට ඉල්ලුම් කරන්නන් හට මෙම නව ඩිජිටල් හැඳුනුම්පත ලබාදී ඉන් පසුව ක්‍රමක්‍රමයෙන් සමස්ත ප්‍රජාවටම ඩිජිටල් හැඳුනුම් පත ලබාදීමයි.