එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කල වාර්තාව

Human Rights Council Sri Lanka Economic Crisis Sri Lanka SL Protest Sri Lankan political crisis
By Sewvandhi Sep 07, 2022 04:57 PM GMT
Report

අතීතයේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නැවත සිදුවීම වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ වගවීම සහ රාජ්‍ය ආයතන තුළ ගැඹුරු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක විය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ වාර්තාවේ දැක්වෙනවා. එහි සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ නව රජය මානව හිමිකම් සහ ප්‍රතිසන්ධානය ඉදිරියට ගෙන යාම සඳහා ජාතික සංවාදයකට ද අවතීර්ණ විය යුතු බවයි.

අදාළ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව නිල වශයෙන් ප්‍රතිචාර දක්වා ඇති බව විදේශ අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කළා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ මානව හිමිකම් සැසිවාරය සැප්තැම්බර් 12 වැනිදා සිට ඔක්තෝබර් 7 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. ඊට සමගාමීව මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාවක්ද නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ නව රජය කඩිනමින් මානව හිමිකම් සහ ප්‍රතිසංධානය පවත්වාගෙන යාම සඳහා ජාතික සංවාදයකට පැමිණිය යුතු බවයි.

ශ්‍රී ලංකාව දේශපාලනික වශයෙන් සන්ධිස්ථානයක සිටින බව අදාළ වාර්තාවෙන් දක්වා ඇති අතර මෙරට උද්ගතව ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් සියලුම ජන කොටස්වල සහ සෑම තරාතිරමකම ජනතාවගේ මානව හිමිකම්වලට දැඩි ලෙස බලපෑමක් එල්ලවී ඇති බවද වාර්තාවේ දැක්වෙනවා. දරුණු ආරක්ෂක නීති මත යැපීම සහ සාමකාමී විරෝධතා මර්දනය කිරීම වහාම අවසන් කරන ලෙසද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය එම වාර්තාව මගින් රජයෙන් ඉල්ලා තිබෙනවා.

මිලිටරීකරණය දෙසට ගමන් කිරීම ආපසු හරවමින් ආරක්ෂක අංශයේ ප්‍රතිසංස්කරණය කරමින් සහ දණ්ඩමුක්තිය අවසන් කිරීමට කටයුතු කිරීමේ නව කැපවීමක් පෙන්නුම් කරන ලෙසයි අදාළ වාර්තාව දැනුම් දෙන්නේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගනිමින් මහජන විරෝධතා මර්දනය කිරීමට රජය දැඩි පිළිවෙතක් අනුගමනය කර තිබෙන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවේ සඳහන්.

පසුගිය සමයේදී මෙරට සිදුවූ මහජන උද්ඝෝෂණ අතරතුර විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය අධික ලෙස බලය යොදවා ඇති බව අනාවරණ වී ඇති බවත් එහි දැක්වෙනවා. එවන් පසුබිමක පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සිවිල් ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කරමින් ප්‍රතිසංස්කරණය කිරීම වැදගත් බව මහකොමසාරිස්වරිය වාර්තාවෙන් නිර්දේශ කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now