රාජ්‍ය නිලධාරීන්ට මානව හිමිකම් නිර්දේශවලට අභියාචනය තහනම්

Government Employee Latest Headlines Sinhala news gagana news NPP Government
By Shehan Jul 05, 2025 08:57 AM GMT
Report

1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත යටතේ ලබාදෙන නිර්දේශ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ විධිමත් ක්‍රමවේදයක් නොමැති බවත්, එවැනි අභියාචනා ඉදිරිපත් කරමින් නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමට නීතිමය හැකියාවක් නොමැති බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ට අවධාරණය කර ඇත.

මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශ, අභියාචනා ඉදිරිපත් කළද, අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බව අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල ප්‍රධානීන් යටතේ පවතින ආයතන සහ එහි නිලධාරීන් වෙත අභ්‍යන්තර චක්‍රලේඛ මගින් දැනුම් දෙන ලෙස කොමිෂන් සභාව නියෝග කර ඇත. 

1996 අංක 21 දරන පනත යටතේ සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව ලබාදෙන නිර්දේශ, සියලු වගඋත්තරකාර පාර්ශ්වයන් විසින් අනිවාර්යයෙන් ක්‍රියාත්මක කළ යුතු බව, කොමිෂන් සභාවේ සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණියගේ අත්සනින් යුතු නිවේදනයක සඳහන් වේ.

එසේම, 2005 ඔක්තෝබර් 05 දිනැති 17/2005 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය ඔස්සේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, සහ සංස්ථාපිත මණ්ඩලවල ප්‍රධානීන් මේ පිළිබඳව දැනුවත් කර ඇති බව නිවේදනයේ දැක්වේ. 

මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශ බලාත්මක කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ ලිඛිත වාර්තා එම කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ යුතු බවත්, එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.