උපුල් රෝහණ ඇතුළු සෞඛ්‍ය සේවකයින් නිහඩ කිරීමට එරෙහිව දැවැන්ත ක්‍රියාමාර්ගයක්

Sri Lanka Ministry of Health Sri Lanka
By Sewvandhi Sep 25, 2022 08:06 AM GMT
Report

සෞඛ්‍ය නිලධාරීන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමි කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති නව චක්‍රලේඛයට විරෝධය පළ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසයි. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ, අදාළ චක්‍රලේඛයට සියලු වෘත්තිය සමිති එක්ව විරෝධය පළ කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බවය.

අනුමැතියකින් තොරව ජනමාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පසුගිය 21 වන දින විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබුණි. සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් සියලු සෞඛ්‍ය නිලධාරීන් වෙත නිකුත් කර ඇති අදාළ චක්‍රලේඛය මගින් දැනුම් දී ඇත්තේ සෞඛ්‍ය සේවය සම්බන්ධ තොරතුරු හා ප්‍රතිපත්තීන් විවේචනය කරමින් විධිමත් අනුමැතියකින් තොරව ඇතැම් නිලධාරීන් මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කර ඇති බවය.

ආණ්ඩුවේ ප්‍රතිපත්ති හෝ පරිපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් ජනමාධ්‍ය ඔස්සේ අදහස් ප්‍රකාශ කිරීම, විවේචනය කිරීම පිළිබඳව 2019 අංක 06 දරණ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය මගින් ද දැනුම් දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දී ඇත.

එම නිසා අදාළ විධිවිධානවලට පටහැනිව කටයුතු කරන සෞඛ්‍ය සේවාවට අයත් සියලුම නිලධාරීන් සම්බන්ධයෙන් විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now