මෙරට විශේෂ පිරිසකගේ වැටුප් ව්‍යුහය වෙනස් කරයි..
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) 2023/2024 වසර සඳහා තේරී පත් වූ නව නිලධාරී මණ්ඩලය ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබෙනවා.
වෙළඳපල වටිනාකම සහ කාර්ය සාධනය මත පදනම් වූ නව වැටුප් ව්‍යුහයක් හඳුන්වාදීම, බුද්ධි ගලනය වැළැක්වීම සඳහා සීමාවාසික පුහුණුව ලබන වෛද්‍යවරුන්ගේ වැටුප් සංශෝධනය සහ වෛද්‍යවරුන්ගේ දීමනා සංශෝධනය සම්බන්ධයෙන් ඔවුන් සිය අදහස් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
ඊට අදාළ යෝජනාවලියක් ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුණා. මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුකිරීමට නියමිත කඩිනම් ප්‍රතිසංස්කරණ පිළිබඳව පැහැදිලි කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඒ සම්බන්ධයෙන් ද යෝජනා ඉදිරිපත් කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලා සිටියේය.
කෙටි කාලීන සහ මධ්‍ය කාලීන සැලසුම් හරහා මෙම නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය සහ එම සැලසුම් සකස් කිරීමේදී ස්කැන්ඩිනේවියානු සහ යුරෝපා රටවල දියුණු සෞඛ්‍ය ක්‍රමවේද අධ්‍යයනය කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය දර්ශන සිරිසේන, ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ, උප සභාපතිවරුන් වන වෛද්‍ය චන්දික එපිටකඩුව, වෛද්‍ය හේමන්ත රාජපක්ෂ, වෛද්‍ය බෝධික සමරසේකර, වෛද්‍ය එස් මතිවානන් යන මහත්වරු ප්‍රමුඛ නව නිලධාරීහු එක්ව සිටියහ.