ගල්ෆ් කලාපයට වාහන ප්‍රවාහනයට හම්බන්තොට වරාය විකල්ප දොරටුවක් වෙයි
හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරික සමූහයක් වන Al-Futtaim Group හි අනුබද්ධ ආයතනයක් වන Al-Futtaim Logistics අතර ව්‍යාපාරික සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
මැදපෙරදිග කලාපයේ ප්‍රධාන නාවික මාර්ගවල ඇති වී තිබෙන බාධාකාරී තත්ත්වයන් හමුවේ, ගල්ෆ් කලාපීය වෙළඳපොළ වෙත වාහන ප්‍රවාහනය කිරීම සඳහා විකල්ප ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස හම්බන්තොට වරායේ වැදගත්කම ඉහළ යමින් පවතින පසුබිමක මෙම සාකච්ඡා පැවැත්වීම විශේෂත්වයකි.
Al-Futtaim සමූහයේ උප සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සිදු කළ නිල සංචාරයක් අතරතුර මෙම සාකච්ඡා පැවැත්විණි.
එහිදී වරාය තුළ පවතින ආයෝජන අවස්ථා පිළිබඳව ද නියෝජිත පිරිසගේ අවධානය යොමු වූ අතර, වරාය මෙහෙයුම් සහ ඒ ආශ්රිත කාර්මික උද්‍යානය තුළ පවතින ආයෝජන හැකියාවන් පිළිබඳව HIP නිලධාරීන් විසින් කරුණු පැහැදිලි කර දෙන ලදී.
විශේෂයෙන්ම හම්බන්තොට වරාය සහ ගල්ෆ් කලාපයේ ප්‍රධාන වෙළඳපොළවල් අතර සම්බන්ධතාව ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාත්මක වන 'CASCADIA RoRo Feeder Service' සේවාවේ කාර්යභාරය ද මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබේ.
මෙම සංචාරය සඳහා පසුබිම් වී ඇත්තේ Al-Futtaim ආයතනය විසින් නිකුත් කරන ලද 'Resilience in Motion' නමැති වාර්තාවයි. 2026 මාර්තු මාසයේදී හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ඇති වූ නාවික බාධා කිරීම් හමුවේ, කලාපීය මෝටර් රථ සැපයුම් දාම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා භාවිත කළ හැකි විකල්ප ප්‍රවාහන දොරටු තුනක් එම වාර්තාව මගින් හඳුනාගෙන තිබේ.
එම විකල්ප වරායන් ලෙස ශ්‍රී ලංකාවේ හම්බන්තොට ජාත්‍යන්තර වරාය, ඕමානයේ මස්කට් නුවර පිහිටි Port Sultan Qaboos සහ ඕමාන් බොක්ක ආශ්‍රිතව පිහිටි Port Khor Fakkan නම් කර ඇත.
Al-Futtaim ආයතනයේ වාර්තාවට අනුව, මෙම විකල්ප ප්‍රවාහන මාර්ග තුන ඔස්සේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, බහරේනය, කුවේට් සහ සෞදි අරාබිය යන රටවල් වෙත සම්පූර්ණයෙන් නිෂ්පාදනය කරන ලද වාහන 25,000කට අධික සංඛ්‍යාවක් ප්‍රවාහනය කර තිබේ.
මෙම විකල්ප ප්‍රවාහන ක්‍රම හේතුවෙන් අලෙවි නියෝජිත ආයතන වෙත වාහන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමටත්, මෝටර් රථ නිෂ්පාදකයින්ට සිය නිෂ්පාදන කටයුතු පූර්ණ ධාරිතාවයෙන් නැවත ආරම්භ කිරීමටත් හැකි වූ බව එම සමාගම සඳහන් කරයි. කෙසේ වෙතත්, වාර්තාගත වාහන 25,000කට අධික ප්‍රමාණය මෙම විකල්ප ප්‍රවාහන මාර්ග තුන හරහා ප්‍රවාහනය කළ සමස්ත ප්‍රමාණය වන අතර, එම සියලු වාහන හම්බන්තොට වරාය හරහා ප්‍රවාහනය කළ ඒවා නොවන බව ද අවධාරණය කළ යුතුය.
මේ අතර, 2026 ජුනි 9 වැනිදා ආරම්භ කරන ලද 'CASCADIA RoRo Feeder Service' සේවාව හම්බන්තොට වරායේ කලාපීය සම්බන්ධතාව තවදුරටත් වර්ධනය කිරීමේ වැදගත් පියවරක් ලෙස සැලකේ.
ඩුබායි මූලස්ථානය කරගත් Al-Futtaim Group හි කොටසක් වන Al-Futtaim Logistics ආයතනය මෝටර් රථ, ගුවන් සේවා, සිල්ලර වෙළඳාම මෙන්ම ආහාර හා පාන වර්ග ඇතුළු ක්ෂේත්‍ර රැසකට ඒකාබද්ධ සැපයුම් දාම සහ ප්‍රවාහන විසඳුම් සපයයි. සිය ජාල හවුල්කරුවන් සමඟ එක්ව රටවල් 150කට අධික සංඛ්‍යාවක එහි මෙහෙයුම් ක්‍රියාත්මක වේ.
ගෝලීය නාවික මාර්ගවල අවිනිශ්චිතතාව ඉහළ යමින් පවතින වත්මන් තත්ත්වය තුළ, ගල්ෆ් කලාපීය වෙළඳපොළ වෙත භාණ්ඩ හා වාහන ප්‍රවාහනය කිරීමේ විකල්ප දොරටුවක් ලෙස හම්බන්තොට ජාත්‍යන්තර වරායට හිමිවන වැදගත්කම තවදුරටත් වර්ධනය වෙමින් පවතී.
ඒ අනුව, ජාත්‍යන්තර සැපයුම් දාම ජාල සමඟ ඇති කරගන්නා මෙවැනි ව්‍යාපාරික හවුල්කාරිත්වයන් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය හා ප්‍රවාහන ක්ෂේත්රයේ කලාපීය භූමිකාව ශක්තිමත් කිරීමට මෙන්ම විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට ද නව අවස්ථා නිර්මාණය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.