MLT සහ භෞතචිකිත්සක පුහුණුවට උපාධිධාරීන් බඳවා ගැනේ

Latest Headlines Sinhala news NPP Government SriLanka - Puwath Puwath.lk
By R.rishma Jul 31, 2026 04:27 AM GMT
Report

වෛද්‍ය කර්මය සඳහා වූ පරිපුරක වෘත්තීන්ගේ සේවාවේ වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ තනතුර (MLT) සහ භෞත චිකිත්සක තනතුරු (Physiotherapist) සඳහා අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාවට උපාධිධාරීන් බඳවා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අයදුම්පත් කැඳවා ඇත.

ඊට අදාළ ගැසට් නිවේදනය 2026 ජුලි 24වන දින අංක 2499 දරන ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත්කර තිබේ. එම නිවේදනයට අනුව සුදුසුකම් සපුරනු ලබන සියලුම අයදුම්කරුවන් තම අයදුම්පත් 2026 අගෝස්තු 07වන දිනට පෙර අධ්‍යක්ෂ, පාලන (2), සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, අංක 106, ඩඩ්ලි සේනානායක මාවත, කොළඹ 08 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුය.

අනුස්ථාපන හා සමායෝජන පුහුණු පාඨමාලාවේ කාලය මාස 6ක් වන අතර එම කාල සීමාව තුළ පුහුණු දීමනාව හා ජීවන වියදම් දීමනාව ඇතුළුව රුපියල් 61,986.00 ක දීමනාවක් පුහුණුලාභීන්ට මෙම වර්ෂයේ දී හිමිවේ.

පුහුණුවෙන් අනතුරුව ස්ථිර පත්වීම් පිරිනැමීමේ දී මුලික වැටුප සමඟ ජීවන වියදම් දීමනාව ඇතුළත්ව ආරම්භක අවස්ථාවේ දී රුපියල් 71,920ක වැටුපක් 2027 වර්ෂයේ දී පත්වීම්ලාභීන්ට හිමි වේ.

මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පාලන (2) චාමික එච්. ගමගේ මහතා වෛද්‍ය කර්මය සඳහා වූ පරිපුරක වෘත්තීන්ගේ සේවාවේ වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ (MLT) තනතුර සඳහා දැනට අනුමත පුරප්පාඩු සංඛ්‍යාව 253ක් සහ භෞත චිකිත්සක (Physiotherapist) තනතුර සඳහා දැනට අනුමත පුරප්පාඩු සංඛ්‍යාව 139ක් වශයෙන් ඉහත පාඨමාලා සඳහා උපාධිධාරීන් 392ක් බඳවා ගැනීමට නියමිත බව සඳහන් කරනු ලැබීය.