වී මිල ජාතික මට්ටමින් ස්ථාවර කිරීමට රජයෙන් සැලසුම්

Latest Headlines Rice Price Sinhala news Puwath.lk
By R.rishma Jul 25, 2026 12:33 PM GMT
Report

වී මිල ජාතික මට්ටමින් ස්ථාවර කිරීම සඳහා ඉදිරියේදී රජය තීරණයකට එළඹෙන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

වී අලෙවි මණ්ඩලය මේ වන විට වී මෙට්‍රික් ටොන් 5,390ක් මිලදී ගෙන අවසන් කර ඇති අතර, රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ තවදුරටත් පුළුල් කරමින් තවත් ස්ථාන කිහිපයකදීද වී මිලදී ගැනීමේ කටයුතු සිදුකරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

දිවයින පුරා ගබඩා 146කදී වී මිලදී ගැනීමේ කටයුතු ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබේ. ඒ අනුව,

  • නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 120ක සහතික මිලක්,
  • සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 130ක සහතික මිලක්,
  • කීරි සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 140ක සහතික මිලක්

යටතේ වී මිලදී ගැනීම සිදුකරනු ලබයි.

මෙම සහතික මිල යටතේ වී අලෙවි මණ්ඩලය මෙන්ම පෞද්ගලික අංශයද වී මිලදී ගැනීමේ කටයුතු සිදුකරන බව සඳහන් වේ.

අම්පාර දිස්ත්‍රික්කයේ වී අස්වනු නෙළන ප්‍රදේශවලට අදාළව ගබඩා 15ක් විවෘත කර ඇති අතර, එම දිස්ත්‍රික්කයෙන් පමණක් මේ වන විට වී මෙට්‍රික් ටොන් 3,148ක් වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන තිබේ.

මේ අතර, කන්තලේ ප්‍රදේශයේද වී අස්වනු නෙළීම ආරම්භ වී ඇති අතර, කන්තලේ ව්‍යාපාරය යටතේ යල කන්නය සඳහා අක්කර 25,000කට වැඩි භූමි ප්‍රමාණයක වගා කටයුතු සිදුකර ඇති බව වාර්තා වේ.

සමස්තයක් ලෙස දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වී අලෙවි මණ්ඩලය මේ වන විට වී මෙට්‍රික් ටොන් 5,390ක් මිලදී ගෙන ඇති අතර, ගොවීන්ට සාධාරණ මිලක් ලබාදීම සඳහා රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.