රාජ්‍ය සේවකයන් විදෙස්ගත වීම සම්බන්ධයෙන් විශේෂ තීරණයක්..! ජනපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්.

Gotabaya Rajapaksa Sri Lanka Economic Crisis Sri Lanka Government Of Sri Lanka Economy of Sri Lanka
By Sewvandhi May 25, 2022 11:07 AM GMT
Report

විවිධ ක්ෂේත්‍රයන්හි පුහුණු ශ්‍රමිකයින් සඳහා ජපානය, පෝලන්තය සහ රුමේනියාව ඇතුළු රටවල රැකියා පුරප්පාඩු රැසක් පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා. එම අවස්ථා ඉලක්ක කරගනිමින් භාෂා සහ වෘත්තීය පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දී තිබෙනවා.

පුහුණු ශ්‍රමිකයින් විදෙස් රැකියා වෙළෙඳපොළ වෙත යොමු කිරීමේ වැඩසටහනෙහි ප්‍රගති සමාලෝචනය සඳහා අද (25) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

පවතින ආර්ථික පසුබෑම හමුවේ විදේශ විනිමය හා විදේශ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා විශේෂ අවධානය යොමු කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා. පුහුණු ශ්‍රමිකයින් බිහිකිරීමෙන් ඉහළ වැටුප් සහිත රැකියා සඳහා වැඩි වශයෙන් අවස්ථාව උදාකරගත හැකියි.

හෙද සේවය සඳහා යුරෝපය ඇතුළු රටවල් රැසක ඉහළ ඉල්ලුමක් පවතින බවද සඳහන්. ජපානයේ පමණක් වැඩිහිටි සත්කාරක සහ ආහාර සැපයුම් ආශ්‍රිත ක්ෂේත්‍රයේ රැකියා පුරප්පාඩු 350,000කට අධික සංඛ්‍යාවක් පවතින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වා දෙනවා.

ඒ සඳහා ජපන් භාෂා දැනුම අනිවාර්යයි. ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය, වෘත්තිය පුහුණු අධිකාරිය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශ දායක කරගනිමින් ජපන් භාෂා දැනුම ලබාදීමේ වැඩසටහන් කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළා.

දැනට රාජ්‍ය සේවයේ නියුතු ඕනෑම අයෙකුට හෝ බහුකාර්ය යෝජනා ක්‍රමය යටතේ බඳවාගෙන ඇති සේවකයෙකුට විදේශ රැකියා සඳහා පිටත්ව යාමට ඇති බාධා ඉවත් කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරුණා.

එහිදී ජ්‍යෙෂ්ඨත්වයට බලපෑමක් නොවන අයුරින් විදේශ රැකියා සඳහා යොමු වීමට අවස්ථාව සලසා දිය යුතු බව විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සඳහන් කර තිබෙනවා.

විදේශ ප්‍රේෂණ වෙනුවෙන් වාහන බලපත්‍ර, නිවාස ණය හා පාසල් දරුවන් සඳහා පහසුකම් ලබාදීමෙන් ඔවුන් දිරිගැන්විය හැකි බව අමාත්‍යවරයා පෙන්වා දෙනු ලැබුවා. තානාපති කාර්යාල මැදිහත්වීමෙන් රැකියා අවස්ථා උදාකරගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now