රාජ්‍ය සේවක වැටුප් සහ සුබසාධන දීමනා ගැන රජය ගත් තීරණය මෙන්න..

Ranjith Siyambalapitiya Shehan Semasinghe Government Employee Sri Lanka
By Aruna Oct 03, 2022 04:26 AM GMT
Report

ආර්ථික අර්බුදය අවසන් නොවුණත් රාජ්‍ය සේවක වැටුප් ගෙවීම හා අනෙකුත් සුභසාධන දීමනා කළමණාකරණය කරගනිමින් ලබා දීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

රාජ්‍ය සේවක වැටුප් සහ සුභසාධන දීමනා කප්පාදු කරන බවට පළවු වාර්තා පිළිබඳව අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

මේ අතර මෙම මාසයේ සිට රාජ්‍ය සේවකයින්ට වැටුපෙන් අඩක් පමණක් ගෙවන බවට පළ වන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන අවධාරණය කළා.

එලෙස රාජ්‍ය සේවකයින්ට අඩක් පමණක් ගෙවන බවට මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුද්ගලයින් සිදුකරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් සිදු කල විමසීමකදීයි ඔහු මේ බව කියා සිටියේ.

කෙසේ වෙතත්, බද්දේගම ප්‍රදේශයේ පසුගියදා පැවති ජන හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර ද රාජ්‍ය සේවක වැටුප සම්බන්ධයෙන් අදහස් පළ කළ අතර ඔහු එහිදී කියා සිටියේ රාජ්‍ය අමාත්‍යවරයෙකු සඳහා මසකට රුපියල් ලක්ෂ 25 ක් පමණ වැය වන බවයි.

එහෙත්, රාජ්‍ය සේවක වැටුපෙන් අඩක් පමණක් ගෙවීම සම්බන්ධයෙන් කිසිදු ආකාරයක සාකච්ඡාවක් සිදුනොවූ බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ.

ජනතාව කැළඹීමට පත් කිරීම සඳහා ඇතැම් පාර්ශව සිදුකරන මෙවැනි ප්‍රකාශ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන බව ද ඔහු සඳහන් කළා.

ආදායම් ලබන රාජ්‍ය ආයතනවලට වැටුප් ගෙවීම සඳහා මුදල් අමාත්‍යාංශය ප්‍රතිපාදන ලබා නොදෙන අතර ඒ අනුව රාජ්‍ය බැංකු, වරාය, දුම්රිය, ලංගම වැනි ආයතන ඔවුන් උපයන ආදායම්වලින් සේවකයින්ට වැටුප් ලබාදීම සිදුකෙරෙනවා.

කෙසේ වෙතත්, රාජ්‍ය සේවකයින්ට නියමිත පරිදි වැටුප් ලබාදීමට කටයුතු කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් අවධාරණය කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now