මැති ඇමැතීන්ට ’’රට සවාරි’’ තහනම්...මෙරටින් ගිය ඇයොන්ටත් දැනුම් දෙයි...

Government Parliament Sri lanka news Sri lankan sinhala news Travel abroad
By Subodha Apr 16, 2022 08:19 AM GMT
Report

අත්‍යාවශ්‍යම කාරණයකට හැරෙන්නට විදේශ සංචාරවලින් හැකිතාක් වැළකී ඉදිරි සති කිහිපයේදී මෙරටේම රැඳී සිටින්නැයි ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇත.

විදේශයන්ට ගොස් සිටි මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු මේ දැනුම් දීමත් සමග හදිසියේම මෙරටට පැමිණ ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

මතුවී ඇති දේශපාලන අර්බුදය සමග විවිධ සාකච්ඡා නිරන්තරව සිදුවන තත්ත්වය යටතේ මන්ත්‍රීවරුන් ඒවාට සක්‍රීයව දායක කර ගැනීමේ මූලික අරමුණ ඇතිව මෙම දැනුම් දීම කර ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

පවතින දේශපාලන අර්බුදයට අදාළව ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලන පක්ෂවල රැස්වීම් ගණනාවක් පසුගිය දිනවල හදිසියේම පැවැත්විණ.

මේ අතර ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් සහ අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය පක්ෂය කටයුතු කරමින් සිටින අවස්ථාවක එම යෝජනා කතානායකවරයාට බාර දීමෙන් පසු පාර්ලිමේන්තුවේදී ඒ යෝජනා සම්බන්ධයෙන් ඡන්ද විමසීම් හදිසියේ පැවැත්වීමට ඉඩ ඇති හෙයින් ඒවාට සක්‍රියව සූදානමින් සිටීම වැදගත් වන බව පක්ෂ නායකයෝ පවසති.

එසේම සිය ජංගම දුරකතන මේ කාලයේදී සක්‍රීයව තබා ගන්නා ලෙසද ඒ ඒ පක්ෂ නායකයන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇත.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
join now