අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල මිළ පාලනය කරන්න යයි.. ජනපතිගෙන් දැඩි තීරණයක්..

Sri Lanka Economic Crisis Sri Lanka Sri Lanka Food Crisis Financial crisis
By Sithumi Jun 02, 2022 04:38 PM GMT
Report

සියලුම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග ප්‍රමාණවත්ව පවත්වාගෙන යමින් භාණ්ඩ හිඟයක් ඇති නොවීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් ලබාදී තිබෙනවා.

භාණ්ඩ හිඟයක් මවාපාමින් මිල ඉහළ නැංවීමට ඇතැම් ව්‍යාපාරිකයන් සංවිධානාත්මකව දරන උත්සාහය ඉන් වැළැක්විය හැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ. වෙළෙඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතාවයට අදාළව මුහුණ දෙන අභියෝග සඳහා කඩිනම් විසඳුම් සලසා ගැනීම සම්බන්ධයෙන් අද (02) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

තොග වෙළෙඳපොළට බෙදාහරින කෘෂි අස්වනු කොටසක් ග්‍රාමීය වෙළෙඳසලට සෘජුවම ලැබීමට සැලැස්විය යුතු අතර එමඟින් සිදුවන ප්‍රවාහන වියදම අවම වීමෙන් ග්‍රාමීය පාරිභෝගිකයාට අඩු මිලකට භාණ්ඩ ලබාගැනීමටත්, ගොවියාට ඉහළ මිලක් ලබාගැනීමටත් හැකි වන බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.

පවතින තත්ත්වය ප්‍රයෝජනයට ගෙන අසාධාරණ මිල ගණන් යටතේ සිදු කෙරෙන වෙළෙඳාම පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන ලෙසත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ජනාධිපතිවරයා පාරිභෝගික සේවා අධිකාරියට උපදෙස් ලබාදී තිබෙනවා.

දිවයින පුරා පිහිටි සතොස සහ සමූපකාර වෙළෙඳසල් සක්‍රීයව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව සහ වෙළෙඳුන්ගේ අභිමතය පරිදි මිල ගණන් තීරණය කිරීමට ඉඩ නොදී අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පාලනය කළ යුතු බව දීර්ඝව සාකච්ඡා කෙරුණා.

වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක, වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් එස්.ටී. කොඩිකාර යන මහත්වරු සහ අමාත්‍යාංශයට අයත් රේඛීය ආයතන ප්‍රධානීන ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now