සියලු පක්ෂ වලට සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනපතිගෙන් ආරාධනා..!
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලින් සැදුම්ලත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා ඇරයුම් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
2020 මහ මැතිවරණයෙන් පසු ආණ්ඩු පක්ෂ නියෝජනය කර, මේ වන විට ස්වාධීනව සිටින පක්ෂ නායකයින් හා නියෝජිතයන් සමග අද (29) පෙරවරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
රජයේ ක්‍රියාදාමය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ජාතික එකඟතා ආණ්ඩුවක් සැකසීමේ අවශ්‍යතාව හා එහි මූලික පියවර ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් ජාතික සභාවක් පත්කරගැනීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කෙරුණා.
පක්ෂවල නියෝජිතයන් ඉදිරිපත් කළ පොදු යෝජනාවලියේ වූ කරුණු සඳහා සියලු දේශපාලන පක්ෂ සහාය දක්වන්නේ නම් තමා ඊට එකඟතාව පළ කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් සැකසීම සඳහා වූ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට සාකච්ඡාව සඳහා සහභාගී වු නියෝජිතයන්ගෙන් පස්දෙනෙකු නම් කිරීමට ද තීරණය කරනු ලැබුවා.
පොදුජන පෙරමුණ ඇතුළුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සෙසු දේශපාලන පක්ෂ අදහස් ලබාගැනීමෙන් පසු ක්‍රමවත් වැඩපිළිවෙළක් සකසා ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මහින්ද අමරවීර, අනුර ප්‍රියදර්ශන යාපා, විජේදාස රාජපක්ෂ, තිස්ස විතාරණ, ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න ඇතුළු ස්වාධීන කණ්ඩායම් සාමාජිකයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |