ජනපති අස්වීමේ ලිපිය ලබා නොදුනහොත් "ධූරය හැර ගියා යැයි සැලකීමට" නීතිමය ප්‍රතිපාදන සොයනවා - කතානායකගෙන් විශේෂ ප්‍රකාශයක්..!

Parliament of Sri Lanka Gotabaya Rajapaksa Mahinda Yapa Abeywardena Sri Lankan political crisis
By Sewvandhi Jul 14, 2022 06:14 AM GMT
Report

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවමත් සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී නොමැති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

බදාදා (13) පාර්ලිමේන්තුවේ කථානායකවරයා කියා සිටියේ මධ්‍යම රාත්‍රියට පෙර දිවා කාලයේ දී සිය ඉල්ලා අස්වීමේ ලිපිය ලබා දෙන බවට ජනාධිපතිවරයා දුරකථන සංවාදයකදී දැනුම් දුන් බවයි.

තමන්ටද බලපෑම් එල්ල වී ඇති බව පවසමින් තම ඉල්ලා අස්වීමේ ලිපිය කඩිනමින් ලබාදෙන ලෙස ජනාධිපතිවරයාට දැනුම් දුන් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

වැඩබලන ජනාධිපතිවරයෙකු පත් කර ඇති බැවින් ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් නොකරන්නේ නම් ‘ඔහුගේ ධූරයෙන් ඉවත් වී තිබේ’ යන විකල්පය සලකා බැලීම සඳහා වන නීතිමය ප්‍රතිපාදන පිළිබඳව කථානායක කාර්යාලය ගවේෂණය කරමින් සිටින බව ඔහු පැවසීය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙකු පැවසුවේ ජනාධිපතිවරයා තවමත් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී නොමැති බැවින් හෙට (15) පාර්ලිමේන්තුව කැඳවන්නේද යන්න අවිනිශ්චිත බවයි.

ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයට ද පිළිගත හැකි අග්‍රාමාත්‍යවරයෙකු නම් කරන ලෙස වැඩබලන ජනාධිපතිවරයා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත දැනුම් දී ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය බදාදා (13) ප්‍රකාශ කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now