ලක්ෂ සංඛ්‍යාත රාජ්‍ය සේවකයින්ට සහ විශ්‍රාමිකයින්ට සුබ ආරංචියක්

Parliament of Sri Lanka Harini Amarasuriya Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Sep 24, 2026 11:50 AM GMT
Report

රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් සහ විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් සම්බන්ධ ගැටලු සඳහා තිරසාර විසඳුම් ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

වසර ගණනාවක් පුරා පවතින වැටුප් විෂමතා විසඳීම මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ප්‍රතිපත්තිය තිරසාර ලෙස කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

මෙම ගැටලු සඳහා විසඳුම් සෙවීමේ අරමුණින් 2026 ජුනි 22 දිනැති අංක 2494/05 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාව පත්කර ඇති බව ඇය පැවසුවාය.

සමස්ත රාජ්‍ය සේවයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම, නව තාක්ෂණික හා ගෝලීය ප්‍රවණතාවලට අනුකූලව අනාගත අවශ්‍යතා හඳුනාගැනීම සහ පුරවැසි කේන්ද්‍රීය, ආචාරධර්මානුකූල හා වගකීම් සහිත රාජ්‍ය සේවයක් ගොඩනැගීම සඳහා උපායමාර්ග ඉදිරිපත් කිරීම එම කොමිෂන් සභාවේ ප්‍රධාන වගකීම් අතර වන බවද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

රැකියා විරහිත උපාධිධාරීන්ගේ පොරොන්දු ඉටු කරන්නේ කවදාද? - සජිත් ආණ්ඩුවෙන් විමසයි

රැකියා විරහිත උපාධිධාරීන්ගේ පොරොන්දු ඉටු කරන්නේ කවදාද? - සජිත් ආණ්ඩුවෙන් විමසයි

ගැසට් නිවේදනයට අනුව කොමිෂන් සභාව සිය නිර්දේශ ඇතුළත් වාර්තාවක් වසරක් ඇතුළත ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ සඳහා වෘත්තීය සමිති, විවිධ සංවිධාන සහ මහජනතාව වෙතින් යෝජනා, අදහස් හා ඉල්ලීම් මේ වනවිටත් ලැබෙමින් පවතින බවත්, ඒවා අධ්‍යයනය කරමින් සිටින බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය. එම ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳ කාර්තුමය වාර්තාවක්ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

මේ අතර, රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාව වෙනුවෙන් නඩත්තු සේවා සහ වත්කම් මිලදී ගැනීම සඳහා 2026 සැප්තැම්බර් 18 දක්වා කිසිදු වියදමක් සිදුකර නොමැති බවද අග්‍රාමාත්‍යවරිය පාර්ලිමේන්තුවේදී පැහැදිලි කළාය.

එමෙන්ම එම දිනය වනවිට කොමිෂන් සභාවේ වැටුප් හා දීමනා සඳහාද කිසිදු මුදලක් වැය කර නොමැති බව ඇය සඳහන් කළාය.

කෙසේ වෙතත්, 2026 සැප්තැම්බර් මාසයේ වැටුප් ගෙවීමේදී කොමිෂන් සභාවේ නිලධාරීන් සිව්දෙනෙකු සඳහා වැටුප් හා දීමනා ලෙස දළ වශයෙන් රුපියල් 508,988ක මුදලක් ගෙවීමට නියමිත බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.  

උද්ධමන ඉලක්කය 5% ක මට්ටමේම තබා ගන්න - IMF එකෙන් ශ්‍රී ලංකාවට දැඩි අවධාරණයක්

උද්ධමන ඉලක්කය 5% ක මට්ටමේම තබා ගන්න - IMF එකෙන් ශ්‍රී ලංකාවට දැඩි අවධාරණයක්