උද්ධමන ඉලක්කය 5% ක මට්ටමේම තබා ගන්න - IMF එකෙන් ශ්‍රී ලංකාවට දැඩි අවධාරණයක්
ශ්‍රී ලංකාවේ නම්‍යශීලී උද්ධමන රාමුවේ විශ්වසනීයත්වය තහවුරු කිරීම සඳහා දැනට පවතින සියයට 5ක උද්ධමන ඉලක්කය තවදුරටත් පවත්වාගෙන යාම සුදුසු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රජයට අවධාරණය කරයි.
සැප්තැම්බර් 10 සිට 23 දක්වා මෙරට සංචාරයක නිරත වූ එවන් පැපජෝර්ජියෝස් මහතා ප්‍රමුඛ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කණ්ඩායම පෙන්වා දෙන්නේ ගෝලීය තෙල් මිල ඉහළ යාම හමුවේ අගෝස්තු මාසයේ උද්ධමනය 8% දක්වා ඉහළ ගියද, උද්ධමන අපේක්ෂා පාලනය වී ඇති බවයි.
2026 දෙවන කාර්තුවේදී 4.2%ක ආර්ථික වර්ධනයක් වාර්තා කරමින් අඛණ්ඩව 11 වන කාර්තුවටත් ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, අගෝස්තු අවසාන වනවිට නිල විදේශ සංචිත ඩොලර් බිලියන 6.9 දක්වා ඉහළ ගොස් තිබේ.
කෙසේ වෙතත්, මැදපෙරදිග අර්බුදය හා එල්නිනෝ බලපෑම් හමුවේ අවාසිදායක අවදානම් පවතින බැවින් පිරිවැය ආවරණය වන බලශක්ති මිලකරණය, බදු පදනම පුළුල් කිරීමේ ආදායම් උපායමාර්ග, දූෂණ විරෝධී නීති රාමුව ශක්තිමත් කිරීම සහ ඩිට්වා සුළි කුණාටුවෙන් පසු ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීම අත්‍යවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.
යාපනයේ සංචාරය කරමින් උතුරු පළාතේ ආර්ථික හැකියාවන් පිළිබඳව ද අවධානය යොමු කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කණ්ඩායම, ඉදිරියේදී කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළඹෙමින් විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ 7 වන සමාලෝචනය අවසන් කිරීමට අපේක්ෂා කරයි.