ගෑස් පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්..!

By Sewvandhi May 08, 2022 03:13 PM GMT
Report

ගෘහස්ත ගෑස් සිලින්ඩර නිකුත් කිරීම සඳහා ප්‍රමාණවත් තරම් ගෑස් තොග තමන් සතුව නොමැති බව ලිට්‍රෝ සමාගම අද (08) සඳහන් කළේය.

අද දිනයේ නිවාඩු දිනයක් වුවත් මුතුරාජවෙල ලිට්‍රෝ ගෑස් පර්යන්තයෙන් ගෘහස්ත ගෑස් සීමිත ප්‍රමාණයක් බෙදාහැරීමට නිකුත් කර තිබුණි.

ලිට්‍රෝ සමාගමෙන් අප කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ ගෘහස්ත ගෑස් සිලින්ඩර නිකුත් කිරීම සඳහා තොග නොමැති අතර අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් ගෑස් නිකුත් කරන බවය.

මෙවැනි පසුබිමක ගෑස් ඉල්ලා අදත් ප්‍රදේශ රැසක ජනතාව ප්‍රධාන මාර්ග අවහිර කරමින් විරෝධතාවල නිරත වුණි. මහරගම නාවින්න ඉන්ධන පිරවුම්හලේ ගෑස් අලෙවිසැල අසල අද උදෑසන නොසන්සුන් තත්ත්වයක් ද හට ගත්තේය.

මේ අතර ඊයේ පස්වරුවේ ජම්පටා වීදිය ප්‍රදේශයේ ගෑස් මිලදී ගැනීමට පැමිණි ජනතාවද මාර්ගය අවහිර කරමින් සිය විරෝධය පළ කළේය. තමන්ට ගෑස් සිලින්ඩර් ලබාදෙන්නැයි පවසමින් කොළඹ ආමර්වීදිය මංසන්ධියේදී ප්‍රදේශවාසීන් විසින් ඊයේ රාත්‍රියේ විරෝධතාවයක නිරත වුණි.

මෙහිදී රථ වාහන ගමනාගමනයට පවා බාධා එල්ල වු අතර විරෝධතාවය අද දෙවන දිනටත් ක්‍රියාත්මක කෙරුණි. මෙම විරෝධතාවය අතරතුර පිරවුම්හලට ගෑස් ලොරියක් පැමිණ ඇති අතර ඉන් ගෑස් බෙදාදීමට කටයුතු කිරීමේදී ජනතාව ගෑස් ලොරියට නැග සිලින්ඩර ලබාගෙන තිබේ. මෙම අවස්ථාවේ ගෑස් සිලින්ඩර සොරකම්කර ඇති බවටද වාර්තා විය.

ඒ සම්බන්ධයෙන් ලිට්‍රෝ සමාගමෙන් අප කළ විමසීමකදී ඔවුන් පැවසුවේ සිලින්ඩර 100කට ආසන්න ප්‍රමාණයක් මෙලෙස අස්ථානගතවී ඇති අතර ඒවා සොයගැනීමට පොලීසිය විමර්ශනයක් ආරම්භ කරන බවය.

මේ අතර හැටන් නගරයේ සති 3ක පමණ කාලයක සිට ගෑස් නොමැතිව ලිට්‍රෝ අලෙවි නියෝජිත කාර්යාලය වසාදමා ඇති අතර ඒ හේතුවෙන් හැටන් නගරයේ ආපනශාලා රැසක් වැසී ගොස් තිබේ. මේ අතර පවතින ගෑස් හිඟයට විසදුමක් ලෙස ජනතාව භූමිතෙල් භාවිතයට යොමුවුවත් දිවයිනේ ප්‍රදේශ රැසකින් භූමිතෙල් හිඟයක්ද වාර්තාවී ඇත. දිවයිනේ ප්‍රදේශ රැසකම තවදුරටත් දැඩි ඉන්ධන හිඟයක් ද පවතී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now