අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල වැඩි කිරිම සම්බන්ධයෙන් රජය ගත් නවතම තීරණය..!

Sri Lanka Economic Crisis Litro Gas Litro Gas Price
By Sewvandhi Apr 22, 2022 10:59 AM GMT
Report

ලිට්‍රෝ ගෑස් සමාගමේ මිල වැඩි කිරීම අනුමත නොකරන බව රජය පවසනවා. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල වැඩි නොවන බවයි රජය පවසන්නේ.

කෙසේවෙතත් ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළේ අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2500 කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි.

එම සමාගම සඳහන් කළේ ඒ අනුව, ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 5175ක් දක්වා ඉහළ යන බවයි. ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් සමාගම දිනකට කෝටි 25ක පාඩුවක් ලබන බව ලිට්රෝ සමාගම ප්‍රකාශ කළා.

එක් ගෑස් සිලින්ඩරයකින් රුපියල් 2500ක පාඩුවක් ලබන බව පෙන්වා දෙන ලිට්රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය වසරේදී රුපියල් බිලියන 250 ක පාඩුවක් ලබා ඇති බවයි.

මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීමේ කටයුතු එළඹෙන 25 වැනිදා දක්වා අත්හිටුවීමටයි පසුගියදා තීරණය කර තිබුණේ.

එම සමාගමේ ආරංචි මාර්ග සඳහන් කළේ මෙරටට පැමිණ ඇති ගෑස් මෙට්‍රික් ටොන් 1700ක නෞකාවේ ඇති ගෑස් අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් ලබාදෙන බවයි.

මේ අතර ලිට්‍රෝ සමාගමේ නව සභාපතිවරයා ලෙසට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති විජිත හේරත් ඊයේ පත්කරනු ලැබුවා. ඒ තෙෂාර ජයසිංහගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහායි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now