ගෑස් වෙළඳ පොලට නිකුත් කරන දිනය ගැන ලිට්‍රෝ සමාගමෙන් දැනුම් දීමක්..

Sri Lanka
By Aruna Apr 21, 2022 06:41 AM GMT
Report

ගෑස් තොග නොමැතිකම හේතුවෙන් අප්‍රේල් 25 වනදා දක්වා ඉවුම් පිහුම් ගෑස් සිලින්ඩර් වෙළඳපොළට බෙදා හැරීමට නොහැකි වන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

මේ අතර දිවයිනට ඊයේ ළඟා වූ නෞකාවෙන් රැගෙන ආ ගෑස් මෙට්‍රික් ටොන් 1,400 බෙදා හැරීමේ කටයුතු අද ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම මීට පෙර පවසා තිබුණා.

එහි ප්‍රකාශකයෙකු හිරු සඳහන් කර තිබුණේ, වැඩිම ඉල්ලුමක් සහිත ප්‍රදේශවලට ප්‍රමුඛතාවය ලබා දෙමින් එම බෙදා හැරීමේ කටයුතු සිදු කරන බවයි.

නෞකාවේ අන්තර්ගතව තිබූ ගෑස් ගොඩබෑමේ කටයුතු ඊයේ රාත්‍රියේ සිදු කෙරුණා.

එමෙන්ම, මෙම මස තුළ තවත් ඇණවුම් කළ ගෑස් අන්තර්ගත නෞකා 02 ක් මෙරටට ළඟාවීමට නියමිත බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කළේ.

එම නෞකා බොහෝ විට ලබන 24 සහ 26 දිනවලදී මෙරටට ළඟා වනු ඇති.

එමගින් රැගෙන ඒමට නියමිත මුළු ගෑස් මෙට්‍රික් ටොන් ප්‍රමාණය 8,500 ක්.

මේ අතර, දිවයින පුරා විවිධ නගරවල මාර්ග අවහිරකරමින් විරෝධතා පැවැත්වීම හේතුවෙන් ඉන්ධන බෙදාහැරීමට බාධා මතුව ඇති බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව පවසනවා.

එම සංස්ථාව සඳහන් කළේ ඒ හේතුවෙන් ඊයේ දිනයේත් ඇතැම් ඉන්ධන බවුසර් නැවත ගෙන්වා ගැනීමට සිදුවූ බවයි.

ඒ අනුව ඉදිරි දිනවලදී පිරවුම්හල් තුල ඉන්ධන හිඟතාවයක් ඇති විය හැකි බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව පෙන්වා දෙනවා.

බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ඊයේ පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ඉදිරි දින දහයකට ප්‍රමාණවත් පරිදි පෙට්‍රල් තොගද සති 2 කට ප්‍රමාණවත් ඩීසල් තොගද සංස්ථාව සතුව පවතින බවයි.

කෙසේ වෙතත් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් රැසක සුපුරුදු පරිදි ඊයේත් දිගු පෝලිම් පැවති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර, බලාගාරවලට ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම හේතුවෙන් දිවයින පුරා ප්‍රදේශවලට අදත් පැය 3යි මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක් සිදු කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now