"..බණ්ඩාරනායක පිළිරුවේ දෑස් බැද දැම්මේ ඇයි.." තරුණ අරගලකරුවන්ට ශ්‍රීලනිපයෙන් විශේෂ පණිවිඩයක්
ගාලු මුවදොර පිහිටි බණ්ඩාරනායක ප්‍රතිමාවට නිගා වන ලෙස කටයුතු කරනු ලැබුවේ ගෝඨාගෝගම විනාශ කිරීමට තැත් කරන අන්තවාදී සහ බෙදුම්වාදී කණ්ඩායම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පවත්වාගෙන යනු ලබන අරගල භූමිය තුළ විවිධ අන්තගාමී සහ බෙදුම්වාදී බලවේග ක්‍රියාත්මක වෙමින් පවතින බවය.
එහි එක් ප්‍රතිඵලයක් ලෙස පසුගියදා බණ්ඩාරනායක ප්‍රතිමාව සම්බන්ධයෙන් වූ සිදුවීම හඳුන්වාදිය හැකි බවද ඔහු පැවසීය. ඒ අනුව බණ්ඩාරනායක ප්‍රතිමාව සම්බන්ධයෙන් සිදුවූ සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කනගාටුව ප්‍රකාශ කරන අතර වහාම එම ප්‍රතිමාවට ආරක්ෂාව ලබාදීමට කටයුතු කළයුතු බවත් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.
ඒ මහතා මේ බව කියා සිටියේ අද (30) දින අනුරාධපුරයේ දී මාධ්‍ය හමුවක් පවත්වමිනි. ගාලු මුවදොර ප්‍රදේශයේ පිහිටා තිබෙන බණ්ඩාරනායක පිළිරුව වෙත ඊයේ පුද්ගලයෙක් නැඟ එහි දෑස් බැඳ සටන් පාඨ ප්‍රකාශ කරන අයුරු දැක ගන්නට ලැබුණි.
ඒ අනුව මේ වනවිට ලැබී ඇති ජයග්‍රාහි අවස්ථාව ආරක්ෂා කර ගන්නා ලෙස තමා තරුණයින්ගෙන් ඉල්ලා සිටින බවද රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා වැඩිදුරටත් පැවසීය.
"පසුගිය අප්‍රේල් මස 22 දා ටැමිල් ගාඩියන් වෙඩ් අඩවිය ලිපියක් පළ කරනවා..ගෝඨාගෝගම බණ්ඩාරනායක ප්‍රතිමාව බිඳ දැමිය යුත්තේ ඇයි කියලා. ඒ ලිපියෙන් ඔවුන් බණ්ඩාරනායක මහතාගේ දර්ශනයට අභියෝග කරනවා. මේ කථිකාව හරහා තමයි දෑස් බැඳ දැමීමේ සිද්ධිය නැවත නිරීක්ෂණය කරන්න වෙන්නේ."
"මීට එරෙහි වූ භික්ෂූණ් වහන්සේ නමකට පහරදීලා රෝහල්ගත කරා කියලා අපි මාධ්‍යවල දැක්කා. මේ තත්ත්වය අතිශය කනගාටුදායකයි."
රාජපක්ෂවරු ඉවත්වන තෙක් ඉදිරියේදී උද්ඝෝෂණ තත්ත්වයෙන් ඔබ්බට ගොස් වර්ජන තත්ත්වය කරා ද ගමන් කරන බවත් ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ද ලබාදෙන බවත් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |