වසර 50 ක් පැරණි ගාල්ලේ ආදරවන්තයින්ගේ වාර්තාව

cricket Galle Richmand Collage MahindhaCollage K H Ranasinghe
By Sewvandhi Feb 18, 2022 03:57 PM GMT
Report

ගාල්ල රිච්මන්ඩ් - මහින්ද ආදරවන්තයින්ගේ සටන මෙරට පාසල් මහා තරග ඉතිහාසයේ වසර සියයකට වඩා පැරණි පාසල් මහා ක්‍රිකට් තරගයක්.

1905 දී ඇරඹි ආදරවන්තයන්ගේ සටන කොවිඩ් වසංගතය හේතුවෙන් වසර දෙකක් පැවැත්වීමට නොහැකි වූ අතර මෙවර මහ සටන අප්‍රේල් මස 8 හා 9 දෙදින තුළ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මෙවර රිච්මන්ඩ් - මහින්ද මහා ගැටුමේ කැපී පෙනෙන විශේෂ සිදු වීමක් වන්නේ පාසල් දෙක අතර තරග ඉතිහාසයේ වැඩිම ලකුණු ලබා ගැනීමේ වාර්තාවක් මෙවර මහා තරගය තුළ දී සුවිශේෂී කඩඉමක් පසු කිරීමයි.

ඒ 1972 වසරේදී ගාල්ල මහින්ද විද්‍යාලයේ අංක 3 පිතිකරු පී.එච්.කේ.එච්. රණසිංහ විසින් පිහිට වූ අදටත් නොබිඳී පවතින ලකුණු 162ක් රැස්කරගෙන පිහිටුවා ඇති වාර්තාවට මෙවර මහා තරගයේ දී වසර 50ක් සපිරීමයි.

1972 වසරේ පැවති ආදරවන්තයින්ගේ සටනේ මෙම වාර්තාවේ කතාවත් ඉතාමත් සුවිශේෂීයි. එම වසරේ පැවැති තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් රිච්මන්ඩ් විද්‍යාලය සිය පළමු ඉනිම සඳහා ලකුණු 274ක් රැස් කර ගන්නවා

. රිච්මන්ඩ් විද්‍යාලයේ අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසෙන ප්‍රසාද් කාරියවසම් ඉතා හොඳින් පන්දුවට පහර දෙමින් ලකුණු 156 ක් රැස්කර ගන්නවා.

ඒ එතෙක් කලක් ගාල්ලේ මහින්දය සතුව තිබූ දෙවිදුහල් අතර වැඩිම පෞද්ගලික ලකුණු සංඛ්‍යාවේ වාර්තාව රිච්මන්ඩ් විද්‍යාලය වෙත රැගෙන යමින්. එතෙක් පැවැති වැඩිම පෞද්ගලික ලකුණු වාර්තාව සතුව තිබුණේ ගාල්ල මහින්ද විද්‍යාලය නියෝජනය කළ සිරිසේන හෙටිටිගේ සතුවයි.

ඔහු එම වාර්තාව පිහිටුවා තිබුණේ 1939 වසරේ පැවැති මහා ක්‍රිකට් තරගයේ දීයි. ඒ වන විට එම වාර්තාවත් වසර තිස්තුනක් වියපත් වාර්තාවක්.

කෙසේ වෙතත් ප්‍රසාද් කාරියවසම් ගේ පිතිකරණ දක්ෂතා සමගින් රිච්මන්ඩ් විද්‍යාලය සිය පළමු ඉනිම සඳහා ලබා ගත් ලකුණු 274 එවක පාසල් කණ්ඩායම් අතර මහ තරගයක දී දැැවැන්ත ලකුණු සංඛ්‍යාවක්.

නමුත් එම දැවැන්ත ලකුණු සංඛ්‍යාව සහ වසර 33ක් පැවති වාර්තාවක් බිඳ දැමීමේ ප්‍රීතිය පැය විසිහතරක් යන්නට මත්තෙන් රිච්මන්ඩ් විද්‍යාලයේ ක්‍රීඩකයින් ගෙන් සහ ආදි සිසුන්ගෙන් උදුරා ගන්නට මහින්දය සමත් වුණා.

ඒ මහින්දයේ අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි පී.එච්.කේ.එච්. රණසිංහ පසුදිනම රිච්මන්ඩ් විද්‍යාලයේ අංක 3 පිතිකරු ප්‍රසාද් කාරියවසම් ලකුණු 156 ක් ලබා ගනිමින් පිහිටුවා තිබූ වාර්තාව තමන් සතු කර ගනිමින්.

ඔහු තරගයේ පළමු ඉනිම සඳහා ලකුණු 162ක් රැස් කරගත්තා. රණසිංහගේ සුපිරි පිතිකරණයත් සමඟ මහින්ද විද්‍යාලය සිය පළමු ඉනිම සඳහා ලකුණු 359 රැස් කරගත්තා. මේ අනගිභවනීය වාර්තාව මේ වසරේ බක් මාසයේ පැවැත්වෙන මහා තරගයේ දී බිඳ වැටෙයිද?

එසේත් නොමැති නම් එම වාර්තාවේ අභිමානයත් රැගෙන තවත් වසරකට ඉදිරියට යයි ද? එය තීරණය වන්නේ මෙවර මහ තරගයෙන් පසුවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now