ඉන්ධන මිල යළිත් වැඩිවෙයි - මිල ගණන් වැඩි වෙන හැටි මෙන්න..
විපක්ෂයේ මන්ත්‍රීවරුන් පෙන්වා දෙන්නේ, ලබන වසරේ සිට වැට් අනුපාතය 15% සිට 18% දක්වා වැඩි කිරීම තුළින් ඉන්ධන ඇතුළු භාණ්ඩ හා සේවා රැසක මිල ඉහළ යන බවයි.
අද (16)අයවැය විවාදයට එක්වෙමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් මේ බව සඳහන් කළා.
ඉදිරියේදී ජනතාවට ජිවත්වීමට නොහැකි වී යන බවත් ඉන්ධන මිල 10 % කින් ලබන වසරේ වැඩිවන බවත් එහිදී අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ කියා සිටියා.
එමෙන්ම ඩිසල් සහ පෙට්‍රල් මිලටත් වැට් බද්ද පැනවුනහොත් ඩිසල් සහ පෙට්‍රල් මිල රුපියල් 420 ක් ලෙසට ඉහළ යන බවට අපේක්ෂා කළ හැකි බවයි, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන සඳහන් කළේ.
මේ අතර, පරීක්ෂණාගාර වාර්තා රැසකින්, තත්ත්වයෙන් බාල තෙල් බවට තහවුරු වූ ඉන්ධන තොගයක් ගැන තමන් පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී අනාවරණය කළ අවස්ථාවේ විෂයභාර අමාත්‍යවරයා විසින් ඒ සම්බන්ධයෙන් කුමන ප්‍රකාශයක් සිදු කළද, එම තෙල් මේ වන විටත් වෙළෙඳපොළට නිකුත් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්, මේ සම්බන්ධයෙන් නිවැරදි කරුණු පැහැදිලි කිරීමක් අවශ්‍ය බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (16) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
විපක්ෂ නායකවරයා අවධාරණය කළේ, මෙම බාල ඉන්ධන තොගය වෙළඳ පොළට නිකුත් කර ඇත්තේ, හොඳ ඉන්ධන සමඟ මිශ්‍ර කිරීමෙන් බවට තොරතුරු ලැබී ඇති බවත්, ඒ ඔස්සේ මෙහි යම් දූෂණ ක්‍රියාවක් සිදුව ඇති බවක් පෙනී යන බවයි.