ඉන්ධන මිලට වෙන්න යන දේ..

Arab Countries Crude Oil Prices Today Russia
By Sewvandhi Oct 05, 2023 11:12 AM GMT
Report

ලෝකයේ විශාලතම ඛනිජ තෙල් නිෂ්පාදක රටවල් දෙක වන සෞදි අරාබිය සහ රුසියාව තම නිෂ්පාදන කප්පාදුව සහ අපනයන සීමාවන් මේ වසර අවසන්වනතුරු දීර්ඝ කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

විශ්ලේෂකයෝ පවසන්නේ, සැපයුම සීමිතවීමත්, ඉහළ යන ඉල්ලුමත් හමුවේ තෙල් මිල තවදුරටත් ඉහළයාම අපේක්ෂා කළ හැකි බවයි.

එම සංවිධානයේ තෙල් අමාත්‍යවරුන් මාර්ගගත රැස්වීමකට එක්වීමට ආසන්නව තිබියදීයි, ඔපෙක් ප්ලස් සංවිධානයේ ප්‍රධාන රටවල් දෙක වන සෞදි අරාබිය සහ රුසියාව මෙම තීරණය ප්‍රකාශයට පත්කරන ලද්දේ.

දිනකට තෙල් බැරල් මිලියනයක කප්පාදුව තවදුරටත් ක්‍රියාත්මක කරන බවත්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී ද දිනකට තෙල්බැරල් මිලියන 09ක් පමණක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන බවයි , සෞදි අරාබිය ප්‍රකාශ කළේ.

රුසියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඇලෙක්සැන්ඩර් නොවැක් සඳහන් කළේ, රුසියාව දිනකට තෙල් බැරල් 500,000ක නිෂ්පාදන කප්පාදුවක් සිදුකරන අතර එම කප්පාදුව වසර අවසානය තෙක් බලපැවැත්වෙන බවයි.

එමෙන්ම රුසියාව දිනකට තෙල් බැරල් ලක්ෂ 03ක අපනයන කප්පාදුවක් ද ක්‍රියාත්මක කරයි. එම සීමාව ද වසර අවසානය තෙක් ක්‍රියාත්මක කරන බව රුසියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

කෙසේ නමුත් රුසියාව මුහුදු මාර්ගයෙන් අපනයන කරන ඛනිජ තෙල් ප්‍රමාණය ඔක්තෝබර් 1 වනදා දක්වා වූ සතියක කාලය තුළ දිනකට තෙල් බැරල් මිලියන 3.72 දක්වා, ඉහළ ගොස් ඇති බවත්, එය පෙර සතියට සාපේක්ෂව 24%ක එනම් සතියකදී වාර්තා වූ ඉහළම වර්ධනය සලකුණු කරන බව බ්ලුම්බර්ග් ව්‍යාපාරික වෙබ් අඩවිය සඳහන් කළේය.