සෑම පුද්ගලයෙකුටම ඉන්ධන ලබා ගැනීමට කාඩ් පතක් - එක් පුද්ගලයෙකුට කාඩ් පතෙන් ඉන්ධන ලබා ගත හැක්කේ මෙලෙසයි..

Sri Lanka Minister of Energy and Power Kanchana Wijesekera Sri Lanka Fuel Crisis
By Sithumi Jun 16, 2022 11:46 AM GMT
Report

ඉන්ධන සැපයීම පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේ, සති දෙකක් හෝ තුනක් ඇතුළත ඉන්ධන සලාක ක්‍රමයට ලබාදෙන කාඩ්පත හඳුන්වා දෙන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ උදාහරණයක් ලෙස සතියක් සඳහා ලීටර් 100ක සලාක කාඩ්පතක් හිමිවන අයෙකුට ඉන් ලීටර් 60ක් ලියාපදිංචිවන ඉන්ධනහලෙන් සහ ඉතිරි ලීටර් 40ක් ප්‍රමාණය දිවයිනේ ඕනෑම ඉන්ධන පිරවුම්හලකින් ලබාගත හැකිවන ලෙස එම ක්‍රමවේදය සකස් කිරීම පිළිබඳව සාකච්ඡා මේ වන විට පැවැත්වෙන බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා.

"බොහෝ දෙනෙක් අත්‍යාවශ්‍ය සේවා හැටියට අපෙන් ඉල්ලීම් කරනවා. මීට පැයකට ඉස්සෙල්ලා ඉල්ලීම ඉදිරිපත් වුණේ කොළඹ මහ රෝහලෙන්. කොළඹ මහ රෝහලේ වෛද්‍යවරු විශේෂයෙන්ම ශල්‍යකර්ම කරන වෛද්‍යවරු නොමැතිවුණොත් එහෙම කොළඹ ජාතික රෝහලේ තියෙන යම් යම් දේවල් අඩපණ වෙන්න ඉඩ තියෙනවා කියන එක ගැන මට දැනුවත් කරලා තියෙනවා.

කොළඹ ජාතික රෝහලට වෙනම තැනක් නෑ ඔවුන්ට අවශ්‍ය ඉන්ධන ලබාගන්න. සමහර පිරවුම්හල්වලින් විවිධ අවශ්‍යතාවන්ට අනුව විවිධ අවස්ථාවල කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් ඉන්ධන ලබාගෙන තිබුණා. මම යෝජනා කළා ජයවර්ධනපුර රෝහලට එහෙම නැත්නම් සෞඛ්‍ය අමාත්‍යංශයට වෙනමම ස්ථානයක් ඔවුන්ට හදාගන්න පුළුවන් නම් ඒකට අපි වෙනම දෙන්න කටයුතු කරනවා කියලා. ඒක හදාගන්නත් කෙටි කාලයක් යනවා.

හැම සේවයක්ම අත්‍යාවශ්‍යයි. කාටවත් කියන්න බෑ මේකට වැඩිය මේක අත්‍යාවශ්‍යයි කියලා. වෛද්‍යවරු අත්‍යාවශ්‍යයි, ආරක්ෂක අංශය අත්‍යාවශ්‍යයි. මාධ්‍ය ඔබටත් වගකීමක් තියෙනවා කරන්න. ඒකත් අත්‍යාවශ්‍ය සේවාවක්. මේ වාගේ අපි වෙන්කරන්න ගියොත් පිරවුම්හල්වල වෙන් වෙන් වශයෙන් මම හිතන්නේ අපිට එහෙම ඉතුරුකරන්න කොටසක් නැතිවෙයි.

ඒ නිසා ඒක අමාරුයි. ඒ නිසා තමයි අපි යෝජනා කරන්නේ ජුනි මාසයේ පළමු සතියේ ඉඳලා අතහදා බැලීමක් හැටියට යම් සලාක ක්‍රමයක්, ඒ කියන්නේ ඕනෑම පාරිභෝගිකයෙකුට නිශ්චිත ඉන්ධන ලීටර් ප්‍රමාණයක් ඔවුන්ට අනිවාර්යයෙන්ම ලබාදෙන ක්‍රමවේදයක් හදන්න. ඒකෙදී මම දැක්කා වැරදි විදියට අර්ථකථනය කරලා තියෙනවා එක ෂෙඩ් එකක ලියාපදිංචි කරාම කොහොමද පිට තැනකට ගිහිල්ලා ගහන්නේ කොහොමද කියලා .

එහෙම එකක් නෙවෙයි අපි බලන්න උත්සාහ කරන්නේ, තමන්ට තියෙන ලඟම ඉන්ධන පිරවුම්හලේ ලියාපදිංචි වෙනවා වගේම තමන්ට සතියක් තුළ ලබාදෙන ඉන්ධන ප්‍රමාණය උදාහරණයක් විදියට ලීටර් 100ක් දෙනවා නම්. ඒකෙන් ලීටර් 60ක් වත් තමන් ලියාපදිංචි වෙන ඉන්ධන පිරවුම්හලෙන් ගන්න පුළුවන්. ඉතුරු ලීටර් 40 වෙනත් ඕනෑම පිරවුම්හලකින් ගන්න පුළුවන් වෙන විදියට . එතකොට අපි අඩුම තරමේ දන්නවා මේ පුද්ගලයාට ලීටර් 100ක්. මම කියන්නේ නෑ ලීටර් 100ක් කියලා සීමාව කියලා. විවිධ ක්ෂේත්‍රවලට වෙනස්වෙයි.

ඒකෙදි අපිට ත්‍රීරෝද රථ එක්කෙනාට වෙනස්වෙයි. සමහරවෙලාවට බස් රථයට වෙනස්වෙයි. අපි හිතමු වෛද්‍යවරුන්ට වෙනස්වෙයි. එහෙම විවිධ ක්ෂේත්‍රවලට කඩලා. අපිට අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න වෙනවා. දැනටත් ඒ පිළිබඳව සාකච්ඡා යනවා දැනට ඒ ක්‍රමවේදය අපි හදලා නෑ. අපි පොඩි වෙනම කාඩ් එකක් ලබාදෙන ක්‍රමයක් අපි කතාකරගෙන යනවා මේ දවස්වල. අපිට සති දෙක තුනක් යයි මේක හදලා දෙන්න. "


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now