ඔබත් පරිස්සමෙන් - ඉන්ධන App එකට 1200ක් හසුවෙයි..! මහජනතාවට බාධා කරන සංවිධානාත්මක පිරිසක් ගැනත් අනාවරණයක්..!
පෝලිම්වල රැඳෙමින් ඉන්ධන එකතු කිරීමේ නිරතව සිටි පුද්ගලයින් 1,200 දෙනෙකු ඊයේ (27) දිනය තුළ පමණක් හඳුනාගත් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
අද (28) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ පොලීසිය හඳුන්වාදුන් පරිගණක යෙදවුම හරහා එම පුද්ගලයින් පිළිබඳව අනාවරණය වූ බවය.
මේ අතර ඉන්ධන පිරවුම්හල් අසල මාර්ග අවහිර කරමින් ඉන්ධන ප්‍රවාහනයට සහ මහජනතාවගේ දෛනික කටයුතුවලට බාධා කරන සංවිධානාත්මක පිරිසක් පිළිබඳව ද අනාවරණය වී ඇති බව ඔහු පැවසීය.
"සමහර වෙලාවට මේ අය ඉන්ධන පෝලිම්වල ඉන්න අයත් නෙමෙයි. රට ප්‍රචණ්ඩත්වයට ගෙනයන්න උත්සාහ කරන සංවිධානාත්මක කණ්ඩායමක්. පොලීසිය, ඉන්ධනහල් සේවකයින්ගෙන් මේ තොරතුරු ලැබිලා තියෙන්නේ." "පොලීසිය ඉන්ධන වැටලීම්වලින් ලීටර් 50,000කට වැඩි සංඛ්‍යාවක් විවිධ ඉන්ධනවර්ග සොයාගත්තා."
"මේ ව්‍යාපාරය කරන කණ්ඩායම් කිහිපයකුත් හඳුනගෙන තිබෙනවා." "ඒ නිසා පොලීසිය ඇප් එකක් හැදුවා. ඒ හරහා පුද්ගලයින් 1,200ක් ඊයේ දවසේ පමණක් පොලීසිය හඳුනාගෙන ඔවුන්ව නවතා ගත්තා."
"ඇප් එකට වාහනයේ ලියාපදිංචි අංකය විතරයි ඇතුළත් කරන්න අවශ්‍ය වන්නේ. ඒක භාවිත කරන සියලුදෙනාටම ඒ අලුතින් එකතු කරන අංකය යාවත්කාලීන වෙනවා. ඒ හරහා නැවත නැවත විවිධ ඉන්ධන පිරවුම්හල් තුළදී ඉන්ධන එකතු කිරීමට උත්සාහ කරන අයව හඳුනගන්න පුළුවන්.""ඒ විදිහට තමයි ඊයේ දවසේ විතරක් පුද්ගලයින් 1,200ක් නවතා ගත්තේ."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |